මොකක් ද මේ සෙලෙන්දිවා.. ?

මොකක් ද මේ සෙලෙන්දිවා.. ? කොළඹ දේපොළ චීනයට නතු වෙයි ද?

by Staff writer 27-05-2021 | 9:22 PM

COLOMBO (NEWS1ST) :  කොළඹ වරාය නගරය අවට පිහිටි ඉඩම් සහ ගොඩනැගිලි රැසකට අදාළව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව පදනම මත ආයෝජන ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් වේ.

ඒ සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට පසුගිය මැයි 17 වනදා අනුමැතිය ලැබිණ. මේ ව්‍යාපෘතිය පිළිබඳව කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වන්නේ, සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගම ආයෝජන ක්‍රමෝපාය හා ප්‍රතිපත්ති රාමුව නමිනි.

මොකක්ද මේ සෙලෙන්දිවා...?

මෙය දැනටමත් ආරම්භ කර ඇති සමාගමකි. සෙලෙන්දිවා සමාගමේ කොටස් 100 % ක් ම මහා භාණ්ඩාගාරයට අයිතියි. නාගරික සංවර්ධන අධිකාරිය සතු ඕනෑම දේපොළකට අදාළව ආයෝජන ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමට මේ සමාගමට හැකියාව තිබේ.

සෙලෙන්දිවා සමාගමට පැවරෙන වගකීම කුමක්ද?

ආයෝජන හඳුනාගනිමින් ඒ සඳහා පහසුකම් සැලසීම. යම් වත්කමක දිගුකාලීන බදු අයිතිය හෝ කළමනාකරණ අයිතිය පෞද්ගලික ආයෝජකයෙකුට පැවරීම. නාගරික සංවර්ධන අධිකාරිය ලබාගෙන ඇති ඕනෑම ඉඩමක් සඳහා වාණිජමය කොන්දේසි මත දිගුකාලීන බදු ගිවිසුම් ඇතිකර ගැනීම. පෞද්ගලික ආයෝජන සඳහා අවශ්‍ය අනුමැතීන් සහ නිශ්කාශන ලබාගැනීමේදී ආයෝජකයාගේ කාර්ය සැහැල්ලු කිරීම. වෙළෙඳපොළ මිල ගණන් යටතේ ගිවිසුමට පෙර හා පසුව ආයෝජකයින්ට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබාදීම. ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට අදාළ ප්‍රවර්ධන කටයුතු සදහා පිළිගත් අලෙවිකරණ සමාගමක් යොදවා ගැනීම. සමාගමට අදාළ සේවා සහ ආයෝජන ලබාගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවළියක් ගොඩ නැංවීම.

සෙලෙන්දිවා සමාගම මගින් ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ කෙසේද?

කැබිනට් පත්‍රිකාවේ සදහන් වන ආකාරයට සෙලෙන්දිවා සමාගම යටතේ පරිපාලන අනුබද්ධ සමාගමක් හෙවත් හෝල්ඩින් එස්පීවී සමාගමක් පවතී ස්පෙෂල් පර්පෝස් වෙහිකල් එකක්, කියන්නේ ආයෝජන කටයුතුවලදී අදාළ නිශ්චිත ආයෝජන කාර්යය සදහාම ආරම්භ කරන සමාගමක්. නාගරික සංවර්ධන අධිකාරිය සතුව ඇති යම් දේපලක් ආයෝජන ව්‍යපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට තීරණය කරන්නේ නම් මේ හෝල්ඩින් එස්පීවී යටතේ ඇති තවත් එස්පීවී එකක් බවට පත්කළ යුතුයි. ආයෝජකයින් හඳුනාගෙන ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීම සිදුවන්නේ මෙම එස්පීවී එක යටතේයි.

ආයෝජන සඳහා දැනට හඳුනාගෙන තිබෙන දේපළ මොනවාද?

මැයි 5 වෙනිදා අගමැතිවරයාගේ කැබිනට් පත්‍රිකාවට අනුව එස්පීවී තුනක් දැනට ප්‍රකාශයට පත්කර තිබේ. කොළඹ කොටුව හෙරිටේජ් ස්ක්වෙයාර්, නිශ්චල දේපොළ සංවර්ධන පහසුකම් සැලසීම සහ රජයට අයත් සත්කාරක අංශය මේ එස්පීවී තුනයි. ඒ යටතේ කොළඹ නගරයේ හා ඉන් පිටත පිහිටි ඉතා වටිනා දේපොළ රැසක් සඳහා ආයෝජකයින්ට ලබාදීමට යෝජිතයි. *කොළඹ කොටුව හෙරිටේජ් ස්ක්වෙයාර් ව්‍යපෘතියට අයිති දේපළ *අක්කර 1.57 ක භූමි ප්‍රමාණයක පිහිටි ග්‍රෑන්ට් ඔරියන්ටල් හෝටලය හා යෝක් ගොඩනැගිල්ල. *අක්කර 0.75 ක භූමි ප්‍රමාණයක පිහිකි ගෆූර් ගොඩනැගිල්ල. *අක්කර 1.5 ක පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශ ගොඩනැගිල්ල. *අක්කර 0.81 ක් භූමි ප්‍රමාණයක පිහිටි මහ තැපැල් කාර්යාලය. මේ සියලු දේපළ කොළඹ කොටුව අවට පිහිටා තිබේ. නිශ්චල දේපොළ සංවර්ධනය යටතේ ඇති දේපළ . *කොළඹ නෙලුම් කුළුණ ආසන්නයේ අක්කර 1.37 ක භූමියක පිහිටි සීනෝර් අවන්හල. *අක්කර 5 ක භූමියක පිහිටි වෝටර්ස් එජ් මිශ්‍ර සංවර්ධන ව්‍යපෘතිය සහ යාපනය කන්කසන්තුරේ පිහිටි ජාත්‍යන්තර සම්බන්ධීකරණ මධ්‍යස්ථානය. රජයට අයත් සත්කාරක අංශය ලෙස හදුන්වන දේපළ *හිල්ටන් කලම්බු ඇන්ඩ් ස්පෝට් සෙන්ටර්. *ග්රෑන්ඩ් හයට් කලම්බු. මේ සියලුම දේපළ සෙලෙන්දිවා හෝල්ඩින් එස්පීවී යටතේ ඇති එස්පීවී තුනක් මගින් ආයෝජකයින් වෙත පවරාදීම සිදුකිරීමට සැලසුම් කර තිබේ. එහිදී ආදළ ව්‍යපෘතිවල දැනට කොටස් හිමියන් සදහා ප්‍රතිලාභ ලැබෙන ක්‍රමවේදයක්ද අග්‍රාමාත්‍යවරයාගේ කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කර ඇති අතර කොටස් වෙළඳපොළ හරහා ද ව්‍යපෘතිවල ආයෝජනය කිරීමේ අවස්ථා පිළිබඳව අවධානය යොමුකර තිබේ.