නැවේ ගින්න ගැන වරාය අධිකාරිය ස්ථාවරය පහදයි

නැවේ ගින්න ගැන වරාය අධිකාරිය සිය ස්ථාවරය පැහැදිලි කරයි

by Staff writer 27-05-2021 | 10:40 PM

COLOMBO (NEWS1ST) :  එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හටගත් ගින්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සිය ස්ථාවරය පැහැදිලි කර තිබේ.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ අදාළ නෞකාව ඉකුත් 20 වනදා අලුයම වරාය ප්‍රදේශයට පැමිණෙන බව ගුවන් විදුලි පණිවුඩ ඔස්සේ වරාය අධිකාරියේ පාලන මැදිරියට පවසා තිබුණු බවයි. එම අවස්ථවේ නැංගුරම්පොළ සූදානම් නොමැති බැවින් බහලුම් මෙහෙයුම් ක්‍රියාවලියේදී සිදුවන සාමාන්‍ය ක්‍රියාවලිය අනුව අදාළ නෞකාව වරාය මුහුදු සීමාවේ නැංගුරම්ලා තැබීමට අවසර ලබා දුන් බව වරාය අධිකාරිය පවසයි. නිවේදනයේ දැක්වෙන්නේ මේ වන විටත් අදාළ නැවේ කිසිදු විශේෂිත සිදුවීමක් පිළිබඳව වරාය අධිකාරිය දැනුවත් කර නොතිබූ බවයි. ඔවුන් පවසන පරිදි අදාළ නැව වරාය තුළට පැමිණීමට නියමිතව තිබුණේ පැය 23 කට පසුවයි. අනතුරට අදාළ තොරතුරු ලබා දුන් හා සහය ඉල්ලූ අවස්ථාවේ සිට ගින්න මැඩලීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට වරාය අධිකාරිය කටයුතු කළ බව ද ඔවුන් නිකුත් කළ නිවේදනය මගින් පෙන්වා දෙයි.