COLOMBO (NEWS1ST) : X-Press Pearl නෞකාවේ ගින්න හටගැනීම සහ අනතුරු දායක නෞකාව අපේ මුහුදු සීමාවට ඇතුළු කිරීමට ඉඩදීම පිළිබඳව දැන් ඇත්තේ සංවාදාත්මක තත්ත්වයකි.
මෙවැනි සමුද්‍රීය අනතුරු සම්බන්ධයෙන් ලෝකයේ වෙනත් රටවල් ක්‍රියාකර ඇත්තේ කෙසේද?
2010 වසරේ මෙක්සිකෝ බොක්ක ආශ්‍රිත මුහුදේ බ්‍රිතාන්‍ය පෙට්‍රෝලියම් සමාගම පවත්වාගෙන ගිය බොරතෙල් ආකරයේ හටගත් ගින්නෙන් ඇමරිකාවේ සමුද්‍ර පරිසරයට දැඩි හානියක් සිදුවිය.
මේ පරිසර හානිය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පෙට්‍රෝලියම් සමාගමට අපරාධ චෝදනා යටතේ නඩු ගොනු කළ ඇමරිකාව ඩොලර් බිලියන 4 ක දඩයක් අයකර ගත්තේ ය.
ඊට අමතරව ඩොලර් බිලියන 20 කට ආසන්න වන්දි මුදලක් ගෙවීමට ද බ්‍රිතාන්‍ය සමාගමට සිදුවිය.
මෑතකදී සූවස් ඇළේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් සිරවීම නිසා සිදුවූ අවහිරවීම මතක ද?
අනතුරෙන් සූවස් ඇළ සති දෙකක් අවහිරවීම නිසා ජාත්‍යන්තර නාවික ගමන් රැසකට බාධා මතුවිය.
සිදුවූ හානිය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 550 ක වන්දියක් ගෙවන ලෙස ඊජිප්තුව මේ වනවිට අදාළ නෞකාව අයත් සමාගමට නියෝග කර තිබේ.
එහෙත් අපේ රටේ සිදුවන්නේ කුමක්ද?
පසුගිය අප්‍රේල් 20 වනදා නෙදර්ලන්තයේ සිට චීනයට යන විකිරණශීලී යුරේනියම් හෙක්සෆ්ලෝරයිඩ් පුරවා ගත් නැවක් හම්බන්තොට වරායට පැමිණ තිබුණේ, කාර්මික දෝෂයක් යැයි කියමිනි. .
විකිරණශීලී ද්‍රව්‍ය සම්බන්ධයෙන් අනුමැතිය ලබාගත යුතු රාජ්‍ය ආයතන පවා නොදැන මේ නෞකාව හම්බන්තොටට පැමිණ තිබූ අතර පසුව අදාළ ආයතන කළ බලපෑම හමුවේ දින දෙකකට පමණ පසුව එය මෙරට මුහුදු සීමාවෙන් පිටව ගියේ ය.
යම් හෙයකින් යාන්ත්‍රික දෝෂය හේතුවෙන් අනතුරක් සිදුවූයේ නම් මේ විකිරණශීලි ද්‍රව්‍ය නිසා සිදුවන බලපෑම ගැන වගකීම ගන්නේ කවුද?
නැවට රටට එන්න අවසර දුන්නෙ කවුද?
මේවා තවමත් නොවිසඳුණ ගැටලු....
පසුගිය වසරේ සැප්තැම්බර් 3 වෙනිදා නැගෙනහිර මුහුදේ ගිනි ගැනීම ආරම්භවූ එම්ටී නිව් ඩයමන්ඩ් බොරතෙල් නෞකාව පිළිබඳ සිද්ධියත් එවැන්නකි.
ගින්න නිවාදැමීමට ගිය වියදම් හා පරිසර හානිය වෙනුවෙන් රුපියල් මිලියන 450 කට අධික මුදලක් ගෙවන ලෙස අදාළ සමාගමට නියම කෙරිණ.
නමුත් එම මුදලින් කොටසක් සමාගම ගෙවා තිබූ නමුත් ඉතිරි මුදලට සිදුවූයේ කුමක්දැයි මෙතෙක් අනාවරණයවී නොමැත.
2015 ඔක්තෝම්බර් 5 වෙනිදා අනවසරයෙන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඇවන්ගාඩ් නෞකාව පිළිබඳ සිද්ධියත් මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුව තිබේ.
සුඩානයේ සිට ශ්‍රී ලංකා ධජය යටතේ යාත්‍රා කළ මේ නෞකාව රටට ඇතුළු වීමට හේතු සහ රැගෙනයන ද්‍රව්‍ය පිළිබඳව නිශ්චිතව නාවික හමුදාවට ප්‍රකාශකර නොතිබිණ.
කිසිදු අවියක් නැතැයි දැනුම්දුන් නෞකාවේ තිබී පසුව ගිනි අවි 810 ක් සොයාගෙන තිබිණ. .
නැව සහ කාර්යය මණ්ඩලය නාවික හමුදාව භාරයට ගත් අවස්ථාවේ කපිතාන්වරයා ශ්‍රී ලාංකිකයෙකු බව ප්‍රකාශකර තිබුණත් පසුව හෙළි වූයේ ඔහු යුක්රේන ජාතිකයෙකු බවයි.
මේ සිද්ධියට අදාළව දීර්ඝ කාලයක් අධිකරණ ක්‍රියාවලියක් ද ක්‍රියාත්මක විය.
දැන් අලුත්ම සිදුවීම X-Press Pearl නෞකාවයි.
සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කළ නෞකාවේ ලෝකයේ ප්‍රධාන පෙළේ නැව් සමාගම් කිහිපයක බහලුම් ප්‍රවාහනය කරමින් තිබිණ.
සිදුව ඇති හානිය වෙනුවෙන් දැන් සිදුකරන්නේ කුමක්ද?