නැවෙන් සමුද්‍රීය පරිසරයට වන හානිය අවම කරගන්න-ජනපති

''ගිනි ගන්නා නැවෙන් සමුද්‍රීය පරිසරයට වන හානිය අවම කර ගන්න'' ජනපතිගෙන් උපදෙස්

by Sagarika Chathumali 26-05-2021 | 7:42 PM

COLOMBO (NEWS1ST) :  කොළඹ වරායට ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ MV X-Press Pearl නෞකාවෙන් සමුද්‍රීය පරිසරයට සහ වෙරළ තීරයට වන හානිය අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, නෞකාව අවට මුහුදේ තෙල් පැතිරයාමක් සිදුවුවහොත් පවතින කාළගුණ තත්ත්වයට මුහුණ දෙමින් එය අවම කර ගැනීමට වැඩි අවධානයක් යොමු කරන ලෙස ඒහිදී ජනාධිපතිවරයා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, ආරක්ෂක අංශ සහ වගකිව යුතු අනෙකුත් රාජ්‍ය ආයතන වෙත උපදෙස් දුන් බවයි. මෙවන් ආපදා තත්ත්වයන් කළමනාකරණය කර ගැනීමට ලොව අනෙකුත් රටවල් ගත් පියවර පිළිබඳ සැලකිලිමත් වන ලෙසට ද ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත. ජනාධිපතිවරයා ලබා දුන් උපදෙස් අනුව අදාළ අංශ එක්ව පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර ඒ් යටතේ නාවික හමුදාව සහ අනෙකුත් අංශ එක්ව වෙරළ තීරයට ගොඩ ගසා ඇති ද්‍රව්‍යයන් ඉවත්කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ. ජනාධිපතිවරයාගේ උපදෙස් මත සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මේ වන විටත් එම මුහුදු තීරය අවට ජල සාම්පල පරීක්ෂණයට ලක්කර ඇති අතර නෞකාව හිමි සමාගම රක්ෂණ ආයතනය සහ සෙසු පාර්ශවයන් සමග ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කර ඇතැයි, ද අදාළ නිවේදනයේ  සඳහන් ය. ගින්න පාලනය කිරීමට දැඩි වෙහෙසක් ගෙන සිටින නාවික සහ ගුවන් හමුදාවන්ට සහ සෙසු සියලු පාර්ශවයන් ඇගයීමට ලක්කර ඇති ජනාධිපතිවරයා වෙරළ තීරය කෙරෙහි විශේෂ අවධානයෙන් පසුවීමේ අවශ්‍යතාව ද අවධාරණය කර තිබේ. සිංගප්පුරු ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ මෙම නෞකාව පසුගිය 20 වනදා කොළඹ වරායට ආසන්න මුහුදේ දී ගිනි ගැනීමට ලක්විය. තවදුරටත් ගිනි ගනිමින් ඇති මෙම නැව ඉන්දියාවේ හසීරා වරායේ සිට පැමිණ ඇති අතර එහි නයිට්‍රික් ඇසිඩ් ටොන් 25 ක් සමග වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාලුම් 1486 ක් ප්‍රවාහනය කරමින් තිබී ඇත.