ගිනි ගත් නැවේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොරෝනා..

ගිනි ගත් MV X-Press Pearl නැවේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොරෝනා..

by Chathuranga Rajapaksha 26-05-2021 | 2:17 PM

COLOMBO (News 1st): ගිනි ගත් MV X-Press Pearl නෞකාවෙන් මුදාගෙන රෝහල්ගත කළ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනාගෙන් එක් අයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වී ඇතැයි කොළඹ ජාතික රෝහල පවසයි.

ඒලෙස තුවාල ලබා ඇත්තේ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකි. පසුගිය 20 වැනිදා නෞකාවේ ගින්න හටගෙන තිබුණේ, කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9 . 5 ක් දුර මුහුදේ නැංගුරම්ලා තිබියදී ය. එදා සිට මේ දක්වා නෞකාවේ ගින්න පාලනය කිරීම සඳහා මෙයෙහුම් ක්‍රියාත්මක වෙමින් පවතින අතර පෙරේදා (24) හෙළි වී තිබුණේ, නයිට්‍රික් ඇසිඩ් බහාලුම් සහිත නෞකාවේ බහාලුම් තට්ටුවක් යටින් ගින්න මතුවන බවටයි. මේ අතර නෞකාවෙන් මුහුදට වැටී ඇති බහාලුම් සහ තවත් ද්‍රව්‍ය කොටස් මේ වනවිට මීගමුව සහ අවට වෙරළට ගසා ගෙනවිත් ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. එහි සභාපති දර්ශනී ලහදපුර මහත්මිය සඳහන් කළේ, අදාළ බහාලුම්වල අන්තරායකර ද්‍රව්‍ය අඩංගු විය හැකි බවයි. ඒ හේතුවෙන් එම ද්‍රව්‍ය ආසන්නයට යාම, ස්පර්ශ කිරීම වැනි කටයුතුවලින් වළකින්නැයි ඇය ජනතාවට අවධාරණය කළාය.