නැවේ සුන්බුන් එකතු කළ පිරිසට වැඩ වරදී

ගිනි ගත් නැවේ සුන්බුන් එකතු කළ පිරිසට වැඩ වරදී..

by Staff writer 26-05-2021 | 6:20 PM
MV X-Press Pearl නෞකාව ගිනි ගැනීමෙන් පසුව ඉන් පරිසරයට ඒකතු වූ අපද්‍රව්‍ය එකතු කළ පිරිස සම්බන්ධයෙන් නිරෝධායන නීතිය යටතේ කටයුතු කරන බව පොලීසිය පවසයි. රසායන ද්‍රව්‍ය අඩංගු බහාලුම් ද අඩංගු වීම හේතුවෙන්, එම ද්‍රව්‍ය ස්පර්ශ කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටියද බොහෝ පිරිසක් එක්ව අදාල අපද්‍රව්‍ය එකතු කිරීමට එක් රොක්වූ බව වාර්තා විය. ඒ් අනුව, ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිව්ස්ෆස්ට් වෙත පැවසීය. සංචරණ සීමා පනවා ඇති අවස්ථාවක, නිවෙසින් බැහැරව අපද්‍රව්‍ය එකතු කළ පිරිස නිරෝධායන නීතිය උල්ලංඝණය කිරීමක් ලෙස සැලකෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය. එම ද්‍රව්‍ය ස්පර්ශ කිරීම හානිකර වනු ඇති බවත්, ඒ් හේතුවෙන් වෙරළට ගොඩ ගසන ද්‍රව්‍ය එකතු කිරීමෙන් වලකින ලෙස පරිසර ආරක්ෂණ අධිකාරිය අනතුරු අඟවා තිබූ මොහොතක මෙලෙස විශාල පිරිසක් අදාළ ද්‍රව්‍ය රැස් කිරීම දැක ගත හැකි විය. MV X-Press Pearl කොළඹ වරායේ සිට නාවික සැතපුම් 9.5 ක දුරක දී පසුගිය 20වැනිදා ගින්නට අසුවූ අතර, මේ දක්වා එය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට නොහැකි වී තිබේ.