ගිනි ගත් නැවේ කාර්ය මණ්ඩල සාමාජිකයාට කොරෝනා නැහැ?

ගිනි ගත් නැවේ කාර්ය මණ්ඩල සාමාජිකයාගේ දෙවන PCR වාර්තාව Negative...

by Staff writer 26-05-2021 | 8:21 PM

COLOMBO (NEWS1ST) :  කොළඹ වරායට ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ MV X-Press Pearl කාර්ය මණ්ඩලයෙන් මුදා ගත් එක් අයෙකුට කොරෝනා අසාදනය වී ඇති බව අද (26) දහවල් ප්‍රකාශ වුවද දෙවැනි PCR වාර්තාවට අනුව ඔහු ආසාදිතයෙකු නොවන බව තහවුරු වී තිබේ.

ගිනිගත් නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 25 දෙනකු සිටි අතර ඉන් තුවාල ලැබූ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු ඊයේ (25) රෝහල්ගත කෙරිණ. මේ අතර නැවෙන් මුදාගත් අනෙකුත් සාමාජිකයින් 23 දෙනා ජෛව බුබුළු ආරක්ෂණ ක්‍රමවේදය යටතේ හෝටල්වලට යොමු කර තිබේ. නෞකාවේ ගින්න තවදුරටත් පැතිරෙමින් පවතින අතර ගිනි ගත් නැවෙන් පාවී එන කොටස් එක්රැස් කරන පිරිස් ඉවත් කිරීම පිණිස දික්ඕවිට සිට හලාවත දක්වා වූ වෙරළ තීරයේ නාවික හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක විය. එමෙන්ම වැල්ලවත්ත සහ පානදුර වෙරළ තීරයේ ද ,නාවික මෙහෙයුමක් ක්‍රියාත්මකයි. මෙම ද්‍රව්‍ය ඇල්ලීමෙන් වළකින ලෙසට තරයේ ඉල්ලා සිටින්නේ ඒවායෙහි රසායනික සංයෝග අඩංගු විය හැකි බැවිනි. කෙසේ වෙතත් අයහපත් කාලගුණය හේතුවෙන් නාවික හමුදාව හා වරාය අධිකාරිය ගින්න නිවීමට ගත් උත්සාහය සාර්ථක නොවී ය. පරිසර හානි වැළැක්වීමට ඉන්දියාවේ 'වජ්‍රා' සහ 'විභාවි' මෙන්ම නාවික හමුදාවේ 'සිදුරළ' නෞකා සූදානමින් පසුවේ. අදත් ගින්න නිවීම සඳහා ගුවන් හමුදාව හෙළිකොප්ටර් යානා යොදවා තිබූ අතර එමගින් kg රසායනික ද්‍රව්‍ය 850 ක් පමණ නෞකව මතට හෙළා තිබිණ. කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුරින් නැංගුරම් ලා තිබියදී පසුගිය බ්‍රහස්පතින්දා නෞකාවේ ගින්න හට ගෙන තිබණ. එතනොල්, නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක්, රසායනික ද්‍රව්‍ය හා රූපලාවණ්‍යාලේපන බහලුම් 1486ක් නැවේ තිබිණ.