සම්බුදු තෙමඟුල සිහි කෙරෙන වෙසක් පුන් පොහොය අදයි !

සම්බුදු තෙමඟුල සිහි කෙරෙන වෙසක් පුන් පොහොය අදයි !

by Staff writer 26-05-2021 | 7:32 AM

COLOMBO (NEWS1ST) :  සම්බුදු තෙමඟුල සිහි කෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි.

බුදු වී ලොව වැඩ සලසන්නැයි නමස්කාර පෙරදැරිව කළ දේවාරාධනය පිළිගත් බෝසතුන් කාලය, දේශය, ද්වීපය, කුලය සහ මව යන පංච මහා විලෝකනයන් විමසීමෙන් පසු අද වැනි වෙසක් පුරපසළොස්වක පෝහෝ දිනක දඹදිව ලුම්බිණි සල් උයනේදී උපත ලැබූහ. සත් පියුම් මතින් සත් පියවරක් පෙරට ගිය සිදුහත් කුමරුන් තමා තුන්ලෝකාග්‍ර වන බවට එහිදී සීහ නාද පැවැත්වූහ. ඉක්බිති සතර පෙරනිමිති දැක ගිහි ගෙයින් නික්ම ගිය සිදුහත් බෝසතානන් වහන්සේ බුද්ධ ගයාවේ ඇසතුමහා රුක් සෙවණේ භාවනාවට සම වැදුණේ සියලු සත්ත්වයන් සසර දුකින් මුදවා ගැනීමේ අදහස පෙරදැරිවයි. එහිදී උන්වහන්සේ සියලු කෙලෙස් නසා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගනිමින් අද වැනි උතුම් වෙසක් පුන් පොහෝ දිනයක සම්බුද්ධත්වයට පත් වූහ. සියලු සංස්කාර ධර්මයන් නැසෙනසුලු බැවින් අප්‍රමාදව කුසල් දහම්හි යෙදෙන්නැයි, සිය අවසන් බුද්ධ වචනය දේශනා කළ බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන සල් උයණේදී අනුපදිශේෂ පරිනිබ්බාන ධාතුවෙන් පිරිනිවන් පා වදාළහ. එමෙන්ම වෙසක් පුන් පොහෝ දිනය ශ්‍රී ලංකා වාසීන්ට ශාසනික සංස්කෘතික හා සාමාජීය වශයෙන් වැදගත් සිදුවීම් රැසකට මුල් වූ දිනයක් වන අතර බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකාගමනය සිදු වන්නේ ද අද වැනි දිනකයි. එහිදී උන්වහන්සේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කළ අතර අනතුරුව සුමන සමන් දෙව් රජුන්ගේ ආරාධනයෙන් සමනල කඳු මුදුණේ සිරිපා සලකුණු තැබුවේ ද අද වැනි උතුම් දිනක ය. මෙරට ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් වන විජය රජු ඇතුළු සත් සීයක් පිරිස සිරිලකට පැමිණෙන්නේ ද වෙසක් පුන් පොහෝ දිනයක බව වංශ කතාවල සඳහන් වේ.