එක්දින තරගාවලි⁣යේ ජය බංග්ලාදේශයට

ශ්‍රී ලංකාව පළමු වරට බංග්ලාදේශය ඉදිරියේ ක්‍රිකට් තරගාවලියක් පරදී..

by Staff writer 25-05-2021 | 10:28 PM

COLOMBO (NEWS1ST) : ශ්‍රී ලංකාව සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගය බංග්ලාදේශය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 103 කින් අද(25) ජය ගත්තේය.

මෙය බංග්ලාදේශ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කළ පළමු ක්‍රිකට් තරගාවලි ජයග්‍රහණයයි. මීට පෙර බංග්ලාදේශය ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට්, එක්දින හෝ පන්දුවාර 20 තරගාවලියක් ජයගෙන නොතිබුණි. තරගයේ කාසියේ වාසිය හිමි කරගත් බංග්ලාදේශ ක්‍රිකට් නායක තමීම් ඉක්බාල් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව බංග්ලාදේශ ක්‍රීඩකයින් පන්දුවාර 48යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 246කි. අද දිනයේ පළමු කඩුලු 02 දවා ගත්තේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරයි. මේ අතර ලසිත් මාලිංග සිය යූ-ටියුබ් නාලිකාව හරහා ඊයේ(24) පළ කළ අදහස් සම්බන්ධයෙන් ද බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබේ. මාලිංග එහිදී පවසා තිබුණෙ ශකීබ් අල්-හසන් ඇතුළු ප්‍රධාන පෙළේ පිතිකරුවන් දවා ගැනීම පිළිබඳවයි. ලසිත් මාලිංග පැවසූ ආකාරයටම දුෂ්මන්ත චමීර එය ක්‍රියාත්මක කරන ආකාරය දක්නට ලැබුණි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මුෂ්ෆිකර් රහීම් එක්දින පිටියේ 8 වැනි ශතකය වාර්තා කරමින් ලකුණු 125 ක් රැස් කළේය. මහ්මුදුල්ලා ලකුණු 41 යි. පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර සහ ලක්ෂාන් සඳකැන් කඩුලු 03 බැගින් දවා ගත්තේය. ජයග්‍රහණය සඳහා ලකුණු 247 ක ඉලක්කයක් වෙනුවෙන් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ, ධනුෂ්ක ගුණතිලක සමගින් නායක කුසල් ජනිත් පෙරේරා. පළමු කඩුල්ල ලෙස කුසල් ජනිත් පෙරේරා ලකුණු 14 කට දැවී ගියේය. ධනුෂ්ක ගුණතිලක ලකුණු 24 යි. පැතුම් නිස්සංක ලකුණු 20කට දැවී ගිය අතර වනිඳු හසරංග අද ලකුණු 6 කට දැවී ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 38 ක් අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 126 ක් රැස් කර ගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය. ඒ අනුව ජයග්‍රහණය සඳහා ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 40 කදී ශ්‍රී ලංකාවට හිමි වූ ඉලක්කය ලකුණු 245 කි. ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 40 අවසානයේ කඩුලු 9 කට රැස් කිරීමට හැකි වුණේ ලකුණු 141 ක් පමණි.