සැප වාහන ගෙන්වීම සැබැවින්ම අත්හිටුවා තිබේ ද?

මැති ඇමතිවරුන්ට සැප වාහන ගෙන්වීම සැබැවින්ම අත්හිටුවා තිබේ ද?

by Staff writer 25-05-2021 | 9:03 PM

COLOMBO (News 1st) - සුඛෝපභෝගී ජීප් රථ ඇතුළු වාහන 399ක් ගෙන්වීමට ඉදිරිපත් වූ කැබිනට් යෝජනාව පිළිබඳව ඇති වූ සංවාදාත්මක තත්ත්වයත් සමග ඊයේ(24) පැවති කැබිනට් රැස්වීමේදී නැවතත් ඒ පිළිබඳව සාකච්ඡා කර තිබේ.

කැබිනට් හමුවෙන් පසුව අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ, සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීම අත්හිටුවීමට එහිදී තීරණය කළ බවයි. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ කැබිනට් රැස්වීම පැවැත්වූයේ සූම් තාක්ෂණය ඔස්සේය. රටේ පවතින මූල්‍ය ස්ථාවරය පිළිබඳව අවධානය යොමු කරමින් මෙම වාහන ගෙන්වීම තවදුරටත් සීමා කළ යුතුව ඇතැයි ඊයේ අමාත්‍ය මණ්ඩලය රැස් වූ අවස්ථාවේ අමාත්‍යවරුන් පෙන්වා දී ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ ය. නමුත් එවැනි පෙන්වා දීමකට නිමිත්ත නිර්මාණය කළේත් අමාත්‍ය මණ්ඩලයමයි. එනම් අමාත්‍ය මණ්ඩලය ඉකුත් අප්‍රේල් මාසයේදී වාහන තොගයක් ආනයනය කිරීමට තීරණය කළේ රජයේ සංවර්ධන වැඩපිළිවෙළ කාර්යක්ෂම කිරීම සඳහා මෙම වාහන අවශ්‍ය බවට අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුවයි. ගිලන් රථ, ජල බවුසර් හා ඩබල් කැබ් රථ 50 බැගින් වාහන 150 ක් ගෙන්විය යුතු බවට නිශ්චිතවම එහි තොරතුරු සඳහන් ය. තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබා දීමේ ක්‍රමය තාවකාලිකව නතර කිරීම මන්ත්‍රීවරුන්ට ද බලපා ඇති බැවින් එම බලපෑම ඉවත් කෙරෙන විකල්ප ක්‍රමයක් පිළිබඳව ද එහි යෝජනා විය. ඒ අනුව ලංකා බැංකුවෙන් සපයන රු. බිලියන 3.7 ක කල්බදු පහසුකම යටතේ වාහන 399ක් ආනායනය කිරීමට ඇණවුම් භාර දෙනන්නේ එම ගැටලුව ද විසඳීම සඳහායි. නමුත් එම ඇණවුමේ අග්‍රාමාත්‍යවරයාගේ කැබිනට් පත්‍රිකාවේ සඳහන් බවුසර් 50 ඇතුළත් කර නැත. ඩබල් කැබ් 50ක් වෙනුවට 52 ක් ඇණවුමට ඇතුළත් ය. වැඩිම සංඛ්‍යාව වන වාහන 245 සුඛෝපභෝගී ජීප් රථයි. ඊයේ අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය අනුව ප්‍රශ්නගත වාහන 399, ආනයනය අත්හිටුවනවා මිස අත්හැර දැමීමක් සඳහන් වන්නේ නැත. අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය යථාර්ථයක් වන්නේ ද ඇණවුම භාර ගත් සැපයුම්කරු ඊට එකඟ වන්නේ නම් පමණි. සැපයුම්කරු එකඟ නොවි ඒකාපාර්ශවික ලෙස ආණ්ඩුව විසින් අදාළ අත්හිටුවීම කරන්නේ නම් ආනයනයට අදාළව ණයවර ලිපි නිකුත් කර ඇති බැංකුවට ද ගැටලු කිහිපයකට මුහුණ දීමට සිදුවේ. ඒ පිළිබඳව අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රශ්නයක් යොමු විය. මාධ්‍යවේදී ප්‍රශ්නය -
කොවිඩ් හමුවේ රටේ මෙච්චර ප්‍රශ්න ගොඩක් තියෙනවා අපි හැමෝම ඉන්නේ පටි තද කරගෙන ඒ අතරතුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාට බිලියන ගණනක් වියදම් කරලා වාහන ගෙන්වන්න තීරණයක් ආවා ඇත්තටම ඇමතිතුමා මේක වාහන ගෙන්වන වේලාවක් ද? සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා, "ඇත්තටම ඒ සම්බන්ධයෙන් අග්‍රමාත්‍ය කාර්යාලයේ ගරු අග්‍රමාත්‍යතුමා විසින් නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා මේ තත්ත්වය යටතේ මේක සිදුවෙන්නේ නැහැ කියලා ගරු අග්‍රාමාත්‍යතුමාගේ කාර්යාලයෙන් නිවේදනයක් නිකුත් වෙලා තිබෙනවා"
මාධ්‍යවේදී ප්‍රශ්නය -
එහෙම සිතුවිල්ලක්වත් එන්නේ කොහොමද මෙච්චර ප්‍රශ්නයක් රටේ තියේද්දි?
සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා,
"අපි කවුරුත් ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කරලා නෑ වාහන ගෙන්වන්න කියලා. අපි කැපවීමක් කරන්න බොහොම පැහැදිලිව ලැස්තිවෙලා ඉන්නවා අතිගරු ජනාධිපතිතුමා ඒ කැපකිරීම කලා වාහන ගන්නේ නැතුව නිල නිවාස භාවිත කරන්නේ නැතුව එතුමාගේ කාර්ය මණ්ඩලයේ දහස් ගණනක සේවකයින් අඩු කරලා රටට බිලියන 03 ක මුදලක් පළවෙනි වර්ෂයේ ඉතුරු කළා. ඉතින් ජනාධිපතිතුමා ඒ ආදර්ශය ලබා දීලා තියෙනවා. අපිත් ඒ ආදර්ශය පිළිපදින්න ඉතාමත් කැමැත්තෙන් සිටිනවා. ඒ කටයුත්ත සිදු නොවන බවට අගමැතිතුමාගේ කාර්යාලයෙන් නිවේදනයක් නිකුත් කරලා තිබේ.
මාධ්‍යවේදී ප්‍රශ්නය -
දැනට අපිට තොරතුරු තියෙනවා V8 වර්ගයේ වාහන කිහිපයක් රටට මේ වෙනකොට ආනයනය කරලා තියෙනවා කියලා. මොකක්ද ඒකේ සත්‍යතාව?
සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා,
"අපිට නම් එවැනි තොරතුරක් නෑ. කවුරුහරි එහෙම ආනයනය කරලා තොරතුරක් තියෙනවා නම් තොරතුරු අපිට ලබා දෙන්න"
මාධ්‍යවේදී ප්‍රශ්නය -
මේ වනකොට එල්සි ඇරලා තියෙන්නේ ඇමතිතුමා එතකොට මෙහෙම ගෙනාවේ නැත්නම් BOC එක බ්ලැක් ලිස්ට් වෙනවා. මොකක්ද එතකොට ගන්න ක්‍රියාමාර්ගය ?
සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා,
"අපිට ඇත්තට රටේ සිදුවන සියලුම දෙවල් අමාත්‍ය මණ්ඩල මාධ්‍ය ප්‍රකාශකයන් විදිහට අපිට පිළිතුරු දෙන්න හැකියාවක් නෑ මොකද අපි නොදන්න කරුණු ගැන අපිට අමාත්‍ය මණ්ඩලයේ සාකච්ජා වූ කරුණු ගැන ඉතා විශ්වාසයෙන් අපිට කරුණු දක්වන්න පුළුවන් ඒ ගැන අපි හොදින් අවබෝධයෙන් ඉන්නේ ඒ ගැන අපි අධ්‍යයනය කරලයි මෙතෙන්ට එන්නේ ඔබ මාධ්‍යවේදීන් විදිහට රටේ සිදුවන විවිධ දේවල් සොයාගෙන ඔබතුමාලාගේ යුතුකම ඒක සොයාගත යුතුයි. ඔබ හැබැයි ඒ ආයතනයෙන් ඇහුවොත් ලංකා බැංකුවේ ණයවර ලිපි විවෘත්ත කරලා තියෙන ආයතනයක් තියෙනවා ඒ ආයතනයේ ඇයි මේක විවෘත්ත කරලා ආදි වශයෙන් ඇහුවොත් ඔවුන්ට නිච්චිත පිළිතුරක් දෙන්න පුළුවන් වේවී. ඒ ගැන කරුණු හරිහැටි අධ්‍යනයකින් තොරව අපිට පිළිතුරක් ලබාදීම අමාරුයි"
අප කළ විමසීමකදී ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ මහතා කියා සිටියේ, ගනුදෙනුකරුවන්ට අදාළ තොරතුරු ප්‍රසිද්ධ නොකිරීමේ බැංකු පිළිවෙත තම ගනුදෙනුකරුවෙකු වන ආණ්ඩුවට ද අදාළව බලපාන බැවින් වැඩිදුර කරුණු දැකිවිය නොහැකි බවය.