දැවෙන නැවේ ගිනි නිවන්න, ඉන්දියාවේ සහය ත්

දැවෙන නැවේ ගිනි දරුණු වෙයි .... ගින්න නිවන්න, ඉන්දීය සහය ත්

by Staff writer 25-05-2021 | 6:34 PM

COLOMBO (NEWS1ST) : M.V එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්න මේ වන විට එහි පාලක මැදිරිය දෙසට ව්‍යාප්ත වෙමින් ඇතැයි, වාර්තා වේ.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා පැවසුවේ, ගින්න නිවීමට අද රාත්‍රියේ ඉන්දීය සහය ද ලැබෙනු ඇති බවයි. ඉන්දියාවේ හසීරා වරායේ සිට මෙරටට යාත්‍රා කළ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට ලක් වූයේ පසුගිය 20 වනදා දහවල් කාලයේදී ය. සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කළ මෙම නෞකාවේ ගින්න ඇතිවන අවස්ථාවේ එතනෝල්, නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක් ඇතුළු රසායනික ද්‍රව්‍ය හා රූපලාවන්‍ය ආලේපන බහලුම් 1486 ක් ප්‍රවාහනය කෙරෙමින් තිබිණ. ගින්න ඇතිවන විට එය නැංගුරම්ලා තිබුණේ කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5 ක දුරකිනි. ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව සහ වරාය අධිකාරිය එක්ව ගින්න පාලනය කිරීමට කටයුතු කළ ද කාලගුණික හේතූන් සහ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් වරින් වර එය ගිනි ගැනීමට ලක්විය. අද උදෑසන නෞකාවේ පිපිරීමක් ද සිදුවූ අතර සිද්ධියෙන් තුවාල ලැබූ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු රෝහල්ගත කෙරිණ. නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ, නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 25 දෙනෙකු මුදා ගත් බවයි. පිපිරීම වන අවස්ථාවේ නෞකාවේ බහලුම් අටකට වැඩි ප්‍රමාණයක් මුහුදට වැටී ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ ය. එම අධිකාරියේ සභාපති දර්ශනි ලහදුපුර මහත්මිය පැවසුවේ, එම බහාලුම්වල අන්තරායකර රසායනික ද්‍රව්‍ය අඩංගු බවයි. එබැවින් එම බහාලුම් හෝ වෙරළට පාවී එන කිසිඳු ද්‍රව්‍යයක් ඇල්ලීමෙන් වළකින්නැයි ඇය ජනතාවට දැනුම් දී සිටී.