කොරෝනා අස්සේ වාහන ගේන්නේ මොකටද?

පෝට් සිටි පනත සම්මත කරපු අයට කෘතගුණ සැලකීමට තමයි මේ වාහන ගේන්න යන්නේ - වසන්ත සමරසිංහගෙන් හෙළිදරව්වක්

by Staff writer 24-05-2021 | 9:01 PM

COLOMBO (News 1st) - නවක මන්ත්‍රීවරුන්ගේ හා රජයේ අවශ්‍යතා සඳහා වාහන ආනයනය කිරීමේ සූදානමක් පිළිබඳව තොරතුරු අනාවරණය වේ.

ඒ පිළිබඳව විවිධ පාර්ශව අදහස් පළ කරමින් සිටී. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා
"කැබිනට් පත්‍රිකාවක් මහින්ද රාජපක්ෂ මහත්තයා පසුගිය 18 වැනි දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තියෙනවා හදිසි අවශ්‍යතාවයන්ට වාහන මිලදී ගැනීම සඳහා. වාහන ඔක්කොම ලංකාවට ගේන්න ලංකා බැංකුවෙන් මිලියන 3637 ක කල්බදු වාරික මත අර ගන්නේ. මේ ණය වෙලා ගන්නවා වාහන. මොකටද? මේ රෝහල්වලට වාහන සපයන්නද? වෛද්‍ය කාර්ය මණ්ඩලවලට පහසුකම් සපයන්නද? නිරෝධායන මධ්‍යස්ථානවලට පහසුකම් සපයන්නද? මේ සියලු ම වාහන ගෙන්වනවා මොකටද? මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්යයන් කාර්යක්ෂම කිරීම සඳහා. හැබැයි තව වෙනකන් කැබිනට් පත්‍රිකාවක් දාලා රටට අවශ්‍ය එන්නත් ටික ගේන්න සල්ලි ටික හොයා ගන්න හැටි කියන්න බැරි වුණා. විලි ලැජ්ජ නැතුව කැබිනට් පත්‍රිකාවක් දාලා ණයට අරන්, අර පෝට් සිටි පනත සම්මත කරපු අයට කෘතගුණ සැලකීම සඳහා තමයි මේ වාහන ගේන්න යන්නේ"
* ප්‍රශ්නය -
අද වර්තා වෙනවා අලුත් වහාන ගෙනවා අලුත් මන්ත්‍රීන්ට ලබා දෙන්න කියලා ?
ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා
"ඒ ගෙන්වනවා නම් ගෙන්වන්න වෙන්නේ පාර්ලිමේන්තුවෙන් ඔය කාරණය පිළිබඳව කතානායකතුමාගෙන් විමසුවොත් ඔබට පුළුවන් පැහැදිලි පිළිතුරක් ගන්න"
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී ඔහු කියා සිටියේ ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ද මන්ත්‍රීවරුන් ඔවුන්ට ඇති අවම පහසුකම් පිළිබඳව තමන් හමු වී අවස්ථා කිහිපයකදීම කරුණු දැනුම්දී ඇති බවය. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා
"මේ ව්‍යසනයක් වෙලා තියෙන වේලාවක පී. සී. ආර් කට්ටල අවශ්‍ය ප්‍රමාණයක් නැති වේලාවක, එන්නත් ලබා ගැනීම සඳහා මුදල් නැති වේලාවක, අයි.සී.යූ. බෙඩ්ස් ප්‍රමාණය අඩු වෙලා තියෙන වේලාවක, රටේ ජනතාව මර බියෙන් කොයි වේලාවක කොතැනක මේ රෝගය වැළඳී තමන් මිය යයි කියලා සැකයෙන් ඉන්න වේලාවක, බඩගින්නේ පුරවැසියන් ඉන්න වේලාවක, මොන මන්ත්‍රීවරයට ද පුළුවන් වාහනයක් ගන්න? මේවායින් පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ මිලේච්ඡ මානසිකත්වය. මේ වාහන ලබා දීමේ සංස්කෘතිය මුකුත් නෙවෙයි මේ. අර පසුපෙළ මන්ත්‍රීවරු කණ්ඩායමේ පොඩි විරෝධතාවයක් ඇවිල්ලා තියෙනවා. අපිත් එක්ක කතා කරනවානේ පිටිපස්සේ ඉන්න මන්ත්‍රීවරු. ඉතින් ඒ විරෝධය සමනය කරන්න මේ. ඒ විවේචනවලට උත්තර. පෝට් සිටි පනත ඡන්දය වේලාවේදි දැන් අපි ගොඩක් වේලා බලා ඉන්න ඕනේ වාහන පෝලිමේ. ලෝකයේ තියෙන විවිධ වර්ගයේ වාහන. අලුත්ම වර්ගයේ වාහන ගමන් කරනවා. මම දැකලා නැහැ එහෙම. ප්‍රශ්නයක් තියෙනවා"
ජාතික නාමල් උයනේ නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමි
"ඔය දේශපාලඥයෝ 225 ම හැම ගෙදරකම බල්ලට බෙහෙත් විදින්න යන්නත් අපේ බදු මුදලින් නඩත්තු වන වහනයක් පාවිච්චි කරනවා. කොටි 2 හමාරක් 04 ක් විතර වටින වහානවල තමයි මේ අය මේ යන්නේ. මම මේ 225 ටම අභියෝග කරනවා. මේ අයට කොච්චර වහාන තියෙනව ද මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා කියන්න මම ඒ නිසා මේ වහානය ගන්නේ නෑ ඒ වගේ අභියෝගයක් තියෙනවා ඔබට. බෙහෙත් ගන්න ඇඳන් ගන්න සල්ලි නෑ එවා ගන්න ධානපතියන්ගෙන් ඉල්ලනවා. ඉල්ලලා මෙන්න අනිත් පැත්තට මුදල් අමාත්‍යංශය වාහන 257 ත් ගෙන්න එල්.සී. කැඳවනවා මේ මොන විකාර වැඩ ද?"