චක්‍රලේඛයක් නිසා අනවශ්‍ය හමුවීම් ඇති කරන්නේ ඇයි?

පරීක්ෂණය කරන්න තියෙන ඉඩකඩත් අහුරනවා, අපි කොහොමද කොරෝනා පාලනය කරන්නේ? - රවී කුමුදේශ්

by Hashini De Mel 24-05-2021 | 9:54 PM

COLOMBO (News 1st) - පරීක්ෂණය කරන්න තියෙන ඉඩකඩත් අහුරනවා නම් මේ රටේ කොරෝනා පාලනය කරන්නේ කෙසේදැයි වෛද්‍ය රසායනාගාර විද්‍යා වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ප්‍රශ්න කරයි.

ඔහු ඒ බව කියා සිටියේ, අද පැවති මාධ්‍ය හමුවකදීය. වෛද්‍ය රසායනාගාර විද්‍යා වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා,
"දැන් මේ පරීක්ෂණය නිකන් ගිහිල්ලා කර ගන්නත් බැහැ. ඒගොල්ලෝ කියන වෛද්‍යවරයෙකුගෙන් ලියා ගෙන එන්න ඕනේ. කොහේද මෙහෙම වෛද්‍යවරු ඉන්නේ රටේ?කොහොමද මෙහෙම වෛද්‍යවරු හොයා ගන්නේ?ආසාදිතයෙක් හෝ සැක සහිත කෙනෙක් තව වෛද්‍යවරයෙක් හම්බ වුණාම ඒ අයටත් මේක බෝවෙනවා. එතකොට ඇයි මේ අනවශ්‍ය විදියේ හමුවීම් ඇති කරන්නේ රටේ චක්‍රලේඛ මගින්? මේක මගිනුත් කරන්නේ නැවත වතාවක් තව වෛද්‍යවරයෙකුට ගාණක් හම්බ කරගන්න ක්‍රමයක් හදනවා. ඒ වගේම මහජනතාවට තමයි මේ බිල අන්තිමට පැටවෙන්නේ. පෞද්ගලික රාසායනාගාරයකට ගිහින් කරන්නත් බැරි නම් මිනිස්සුන්ට තමන්ගේ පරීක්ෂණය තමන්ට කරන්න තියෙන ඉඩකඩත් අහුරනවා නම් අපි කොහොම ද මේ රටේ කොරෝනා පාලනය කරන්නේ?"
සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ද මේ පිළිබඳව සිය අදහස් පළ කළේය.
"මේ මොහොතේත් අපි පුළුවන් තරම් බලන්නේ පී.සී.ආර්. ධාරිතාව තව අවශ්‍ය පරිදි වැඩි කිරීමට අවශ්‍ය කරන දේවල් කිරීම පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීම රජය අඩු කිරීමට වැඩි කිරීමට අපි උත්සාහ කරන්නේ නැ. පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය අපි අවශ්‍ය පරිදි කිරීම දිගටම කරගෙන යනවා. පී.සී.ආර්. පරීක්ෂණ කිරීමේ ධාරිතාව රජය මගින් නොකඩවා වැඩි කරගෙන යනවා. ඉදිරියේදී තවදුරටත් අවශ්‍යතාවය පරිදි වැඩි කරන්න පුළුවන්. නමුත් රෝගින් සංඛ්‍යාව අඩු කිරීමට අවශ්‍ය කරන වැඩපිළිවෙළ වැඩි වැඩියෙන් ක්‍රියාත්මක කිරීම තමයි මේ මොහොතේ කළ යුත්තේ"