by Staff writer 22-05-2021 | 10:59 AM
COLOMBO (News 1st) -කොළඹ වරාය නගර කොමිෂන් සභාව පනත් කෙටුම්පත සම්බන්ධ විවාදය අවසානයේ පැවති ඡන්ද විමසීමේදී ඡන්දය නිසි පරිදි ගණනය වී නැතැයි කෙරෙන චෝදනා සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණ 02ක් පැවැත්වීමට තීරණය කර තිබේ.
ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් මතයි.
නිව්ස්ෆස්ට් ජනතා හඬ කළ විමසීමකදී කතානායකවරයා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන්ගෙන් ඉල්ලීමක් කළ බවය.
ඒ අනුව, එක් පරීක්ෂණයකින් තාක්ෂණික දෝෂයක් මත ඡන්ද විමසීම නිසි ආකාරයෙන් ගණනය වී නැද්ද යන්න සොයා බැලෙනු ඇති.
ඒ සඳහා තාක්ෂණ අමාත්‍යාංශයේ විශේෂඥයින්ගේ සහය ලබා ගැනීමට නියමිත බව කතානායකවරයා පැවසුවේය.
ඡන්ද ගණනයේදි යම් පරිපාලනමය දෝෂයක් සිදුව ඇත්ද යන්න පිළිබඳ සොයා බැලීමට තවත් පරීක්ෂණයක් ක්‍රියාත්මක බව කතානායකවරයා සඳහන් කළේය.