කැලෑ කැපීම් ගැන FB හරහා බොරු ප්‍රචාර කළ අයෙකු කොටු

කැලෑ කැපීම් ගැන Facebook හරහා බොරු ප්‍රචාර කළ රජයේ නිලධාරියෙකු අත්අඩංගුවට..

by Chathuranga Rajapaksha 22-05-2021 | 10:56 AM
COLOMBO (News 1st): Facebook පිටුවක් ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදු කළ රජයේ නිලධාරියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) විසින් ගෙලිඔයදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ. කැලෑ එළිපෙහෙළි කිරීම, වනාන්තර විනාශ කිරීම සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ඇතුළත් ඡායාරූප ඔහු එම Facebook පිටුව හරහා පලකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. එම සියලු ඡායාරූප විවිධ පුද්ගලයින්ගේ පෞද්ගලික ඉඩම් එළිපෙහෙළි කරන අවස්ථාවේදී ලබාගත් ඡායාරූප බවට විමර්ශවලදී අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය. ඔහු අදාළ ඡායාරූප පලකර තිබෙන්නේ ලංකාවේ ප්‍රසිද්ධ වනාන්තරවල නම් සඳහන් කරමින් බව ද පොලීසිය සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරු 42 හැවිරිදි වියේ පසුවන කොත්මලේ ප්‍රදේශයේ සහකාර ඉඩම් නිරවුල් කිරීමේ කොමසාරිස්වරයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය. ඔහු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.