වරාය නගර පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

BREAKING : වරාය නගර පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

by Staff writer 20-05-2021 | 4:51 PM

COLOMBO (News 1st) : වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පතට පක්ෂව අද පාර්ලිමේන්තුවේදී ඡන්ද 149 ක් හිමවිය.

ඊට විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 58 කි. කෙටුම්පතට අදාළ දෙවන වර හා තුන්වන වර කියවීමේ විවාදය අවසානයේ ඡන්දවිමසීම ඉල්ලා සිටියේ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතායි. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ නමුත් ආචාර්ය විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී නොවී ය. සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබිණ. රිෂාඩ් බදියුද්දීන් මන්ත්‍රීවරයාගේ කණ්ඩායම නියෝජනය කරන අලි සබ්රි රහීම් සහ ඉෂාක් රහුමාන් යන මන්ත්‍රීවරු කෙටුම්පතට පක්ෂ වූහ. බදියුද්දීන් මන්ත්‍රීවරයාගේ කණ්ඩායම නියෝජනය එම්.මුෂාරෆ් මන්ත්‍රීවරයා ඡන්දය දුන්නේ කෙටුම්පතට විරුද්ධවයි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් 5 දෙනා ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ නොසිටියහ. මේ අතර සංශෝධන අවස්ථාවේ වරාය නගර ආර්ථික කොමිසමට නිල බලයෙන් යුත් ශ්‍රී ලාංකික පුරවැසියන් පත්කළ යුතු බවට විපක්ෂය ගෙනා සංශෝධනයේදී පොදුජන පෙරමුණේ මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග මහතා ඡන්දය දීමෙන් වැළකී සිටීම විශේෂත්වයකි.

 

  https://www.youtube.com/watch?v=8dFCATPaHss