වරාය නගරය ද.ආසියාවේ පිවිසුම් දොරටුව බවට පත්වේවි

වරාය නගරය ද. ආසියාවේ පිවිසුම් දොරටුව බවට පත්වේවි - ජනපති

by Staff writer 20-05-2021 | 6:46 PM
ලොව පුරා විසිරී සිටින ආයෝජකයින් කොළඹ වරාය නගරයෙන් ප්‍රයෝජන ගනු ඇතැයි තමන් දැඩිව විශ්වාස කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ , ආසියාවේ අනාගතය පිළිබඳව 26 වන ජාත්‍යන්තර සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමිනි. දෙ දිනක් පුරා පැවැත්වෙන සමුළුව අද පෙරවරුවේ ආරම්භ වුණේ ජපානයේ ටෝකියෝ නුවරදීයි. සමුළුව අමතා ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙලෙස අදහස් පළ කළේ ය. "වරාය නගරය දකුණු ආසියාවේ පිවිසුම් දොරටුව බවට පත් වේවි. මෙම ව්‍යාපෘතිය මගින් අලුත් නගරයක් මෙන්ම ජාත්‍යන්තර මුල්‍ය කේන්ද්‍රයක් නිර්මාණය වනවා. ඒවාගේම ලොව ප්‍රධානතම යටිතල පසුකම්වලින් සපිරි වෙරළබඩ නගර පාරාදීසයක් බවට මෙය පත්වේවි. ආයෝජකයින්ට සරිලන පහසුකම් සැපයීම සදහා නව නීති මේ වෙද්දි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. මෙමගින් විශාල ආර්තික බලපෑමක් එල්ල කළ හැකි ව්‍යාපාර සදහා පහසු වටපිටාවක් නිර්මාණය වනවා. භූගෝලීය වශයෙන් ඉතා වැදගත් ස්ථානයක පිහිටා ඇති මෙම නගරයෙන් ලොව පුරා සිටින ආයෝජකයින් උපරිම ප්‍රයෝජනයක් ගනු ඇතැයි මම දැඩිව විශ්වාස කරනවා. කලාපීය වශයෙන් ප්‍රධානතම සේවා මධ්‍යස්ථානයක් වන මින් ප්‍රතිඵල ලබාගැනීමට දිරිගන්වන ලෙස සියලු ජාතීන්ට ඔවුන්ගේ ව්‍යාපාරිකයින්ට මම ආරාධනා කරනවා" දකුණු ආසියානු රටක් ලෙස චීනය සහ ඉන්දියාව සමග තිබෙන සබඳතාව තුලනය කරමින් ක⁣ටයුතු කරන්නේ කෙසේදැයි යන්න පිළිබඳව ජනාධිපතිවරයා වෙත ප්‍රශ්නයක් යොමු විය. ඊට ජනාධිපතිවරයා ලබා දී ඇත්තේ, මෙවැනි පිළිතුරකි. "දියුණු වෙමින් පවතින රටක් ලෙස අපේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට ශ්‍රී ලංකාව සියලුම රටවල්වලින් සහයෝගය ලබා ගැනීමට අපේක්ෂා කරනවා. අපි ලෝක බලවතුන් අතර අරගලය සහ මෙම කලාපයේ තිබෙන බල අරගලය පිළිබඳව හොඳ අවබෝධයෙන් ඉන්නේ. අපේ විදේශ ප්‍රතිපත්තිය මධ්‍යස්ථ එකක්. අපි ඉන්දියාවට සලකන්නේ අපේ දීර්ඝ කාලීන මිතුරෙක් සහ ළගම අසල්වැසියෙක් ලෙසයි. එරට ආරක්ෂාව සම්බන්ධයෙන් ඔවුන්ගේ තියෙන අවධානය සහ සංවේදීකම පිළිබඳව අපි අවබෝධයෙන් ඉන්නේ. ඉන්දියාවේ ආරක්ෂාවට බලපෑම් ඇති කරන්න ශ්‍රී ලංකාව යොදා ගැනීමට අපි කාටවත් ඉඩ දෙන්නේ නෑ" ජපාන අගමැති යොෂීහිඩේ ෂුගා , පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් , නේපාල අගමැති කේ.පී.ශර්මා ඇතුළු රාජ්‍ය නාකයින් පිරිසක් ආසියාවේ අනාගතය පිළිබඳ 26 වන ජාත්‍යන්තර සමුළුව ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසී ය.