තේරුමක් නැති යුද්ධයෙන් අහිමි වූ දෑ..

තේරුමක් නැති යුද්ධයෙන් අහිමි වූ දෑ.. 12 වැනි රණවිරු සැමරුමේ මතකාවර්ජනය..

by Staff writer 19-05-2021 | 5:59 PM

COLOMBO (News 1st) - 1975 ජූලි 27 වැනිදා යාපනය නගරාධිපති ඇල්ෆ්‍රෙඩ් දොරෙයප්පා ඝාතනයෙන් ඇරඹි ජාතිවාදයේ භීෂණය යුද්ධයක් දක්වා ඉදිරියට ගියේ ලක්ෂ සංඛ්‍යාත ජන ජීවිත නිරපරාදේ මිහිදන් කරමින්ය.

තේරුමක් නැති යුද්ධයෙන් අහිමි වූ දෑ බොහෝයි. ජාත්‍යන්තර අපකීර්තිය, ආයෝජන අහිමි වීම්, ආර්ථිකය කඩා වැටීම, සංවර්ධනය ආපස්සට යාම, රටේ සම්පත් විනාශ වීම, ජන ජීවිතය අවිනිශ්චිත වීම, ජාතීන් අතර සැකය නිසරු යුද්ධයකින් ලැබුණු රුදුරු අත්දැකීම් වේ. මරාගෙන මැරෙන ළමා සෙබළුන්, තාරුණ්‍ය අවියට යට කළ ගැහැණුන්, මරාගෙන මැරෙන ළමා සොල්දාදුවන් වගේම තැන තැන වල දැමූ ජොනි බට්ටන් ජාත්‍යන්තරය පුරා ශ්‍රී ලංකාව ගැන මැවූ චිත්‍රය බිහිසුණුයි. රට පුරා මුර කපොලු වැටුණි. ඡන ඡීවිතයට අනවශ්‍ය සීමාවන් පැනවිය. 30 වසරක යුද සාපයෙන් ලද අත්දැකීම් මුල් කොටගෙන ත්‍රිවිධ හමුදාව හා පොලීසිය සාමය උදෙසා යුද්ධයක් මෙහෙය වූහ. 2009 මැයි 19 ජාතිවාදි භීෂණය මුවහත් කළ යුද්ධය නන්දිකඩාල් කලපුවේ මිහිදන් විය. මුර කපොලු ගැලවුණි. යාල්දේවී දුම්රිය යළි දකුණට ගියේය. දකුණේ සංවර්ධනය හා නිදහස උතුරට ගියේය. නිදහස පැල විය. ජනතාව හිනැහුණි. දැන් ගෙවී යන්නේ දිනාගත් සාමය වගකීමෙන් රැකගත යුතු කාලයයි. උත්තරීතර සාමය රැකගත හැක්කේ, අලුතින් සිතන, පුළුල්ව දකින, පොදු හැඟීමෙන් ජීවත්වන ශ්‍රී ලාංකේය ජන පරපුරකටයි.