Port City කෙටුම්පත: ශ්‍රේෂ්ඨාධිකරණ මතය මැති සබයට

Port City කෙටුම්පතේ ඇතැම් කොටස් ව්‍යවස්ථා විරෝධියි... ශ්‍රේෂ්ඨාධිකරණ මතය මැති සබයට

by Staff writer 18-05-2021 | 12:13 PM

Colombo (News1st) :  කොළඹ වරාය නගරයේ විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය සිය නිගමනයෙන් දැනුම් දී ඇත්තේ, ඒ අතර ඇති ඇතැම් වගන්ති පනත් කෙටුම්පතේ සඳහන් ආකාරයට සම්මත කර ගැනීම සඳහා ජනමත චිචාරණයක් සහ පාර්ලිමේන්තුවේ 2/3 එකඟතාව අවශ්‍ය බවයි. කොළඹ වරාය නගර බල ප්‍රදේශය තුළ සියලු ප්‍රජා නීති සහ සංවර්ධන නියෝග සකස් කිරීම, ඒවා සංශෝධනය කිරීම, ඒවා කඩවීමේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වරාය නගර ආර්ථික කොමිෂන් සභාවට ලබාදීමට යෝජනා කර ඇති බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර තිබේ. ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර සඳහා දැනට ක්‍රියාත්මක පනත් 14 කින් නිදහස් කිරීම් හෝ දිරි ගැන්වීම් ප්‍රදානය කිරීමට මෙම පනත් කෙටුම්පතෙන් යෝජනා කළේ ය. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ සඳහන් වන්නේ එම නිදහස් කිරීම් හෝ දිරි ගැන්වීම් පිරිනැමීම සඳහා අවශ්‍ය විය හැකි වැඩිදුර මාර්ගෝපදේශ සහ නියෝග පැනවීමට කොමිෂන් සභාවට බලය පැවරෙන වගන්ති තුනක් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවයි. මේ අතර කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පත මගින් වරාය නගර සීමාව තුළ ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාරවලට දැනට රටෙහි ක්‍රියාත්මක පනත් 7 ක් අදාළ නොවන බවට යෝජනා කර තිබිණ. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය සිය නිගමනයේ සඳහන් කර ඇත්තේ ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර සම්බන්ධයෙන් නිදහස් වන පනත් නිශ්චිතවම කවරේ දැයි තීරණය කිරීමටත් , වෙනත් දිරි ගැන්වීම් ලබාදීමටත්, වරාය නගරය ආර්ථික කොමිසන් සභාවට බලය පැවරෙන වගන්ති ද ව්‍යවස්ථාවට අනුකූල නොවන බවයි. ව්‍යවස්ථාවට අනුකූල නොවන ඉහත වගන්ති සම්මත කිරීමට ජනමත විචාරණයක් සහ තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනයේ සඳහන් වන අතර අධිකරණය සදහන් කර ඇති සංශෝධන සිදු කරන්නේ නම්, එම අනනුකූලතාවය ඉවත්ව යන බව ද ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනයේ සඳහන් ය. මේ අතර තවත් වගන්ති කිහිපයක් සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනයේ දැක්වේ. ඒ අනුව අධිකරණය නිගමනය කර ඇත්තේ යම් නියාමන අධිකාරියක්, සහාධිපත්‍ය දේපළ කළමනාකරණ අධිකාරිය සහ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව, වරාය නගර ආර්ථික කොමිසන් සභාව යම් කරුණකට අදාළව අනුමැතිය නැතහොත් එකඟතාව ඉල්ලා සිටින අවස්ථාවක එය ප්‍රමුඛ කාර්යක් සේ සලකා ලබාදීමේ අවශ්‍යතාව සඳහන් කරමින් ඇතුළත් වගන්ති සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ 2/3 අනුමැතියක් අවශ්‍ය බවයි. කෙටුම්පතේ සඳහන් නියාමන අධිකාරීය ලෙස හඳුන්වන ආයතනවල නියාමන බලතල නොකතා කොළඹ වරාය නගර සීමාවට බලපැවැත්වෙන ආකාරයට නියෝග සකස් කිරීමට කොමිෂන් සභාවට බලය පැවරෙන වගන්ති ද අනුමත කිරීම සඳහා 2/3 විශේෂ බහුතර එකගතාව අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනයේ සඳහන් ය. එහි දැක්වෙන්නේ නියාමන අධිකාරිය සම්බන්ධයෙන් ඇති අර්ථ නිරූපණය ද ව්‍යවස්ථාවට අනුකූල නොවන බවයි. ⭕ පනත් කෙටුම්පතේ නියාමන අධිකාරිය යටතට ⭕ මහ බැංකුවේ මුදල් මණ්ඩලය, ⭕ සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා ⭕ මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ⭕ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ⭕ කෙටුම්පතේ විෂයන්ට අදාළව බලතල ඇති නියාමන අධිකාරියක් හෝ අනුමත කිරීමේ අධිකාරියක් ඇතුළත් කර තිබිණ. කෙටුම්පතේ සඳහන් වූයේ එම අධිකාරීවලට අදාළ ලිඛිත නීති කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට සීමා විය යුතු බවයි. නමුත් , මෙම කරුණු ව්‍යවස්ථාවට පටහැනි බව නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒවා සම්මත කර ගැනීම සදහා තුනෙන් දෙකක විශේෂ බහුතරයක් අවශ්‍ය බව සඳහන් කර තිබේ. අධිකරණය නිගමනය කර ඇත්තේ වරාය නගර සීමාව තුළ යම් ලියාපදිංචි කිරීමක් , බලපත්‍රයක්, බලය ලබාදීමක්, වෙනත් අනුමත කිරීමක් සම්බන්ධයෙන් කොමිෂන් සභාව ඒකීය අවස්ථා ආයෝජන පහසුකම් සලසන්නෙකු ලෙස කටයුතු කිරීමට බලය ලැබෙන වගන්ති ද ව්‍යවස්ථාවට පටහැනි බවයි. ශ්‍රී ලාංකික පුරවැසියෙකුට වරාය නගර සීමාවේදී භාණ්ඩ හෝ සේවා ලබා ගැනීමේදී ගෙවීම් කළයුතු බවට සඳහන් වගන්ති ද ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනයේ සඳහන් ය. මෙම පනත් කෙටුම්පතින් කොළඹ වරාය නගර සීමාවේ සේවාවන් සැපයීම සඳහා දේපළ කළමනාකරු ලෙස සමාගමක් ආරම්භ කර කළයුතු බව සඳහන් කර තිබේ. වරාය නගර සීමාව තුළ කොමිෂන් සභාව පනවන දේශීය වරිපනම්, අයබදු සහ විවිධ ගාස්තු ඇතුළු අයකිරීම් එක්රැස් කිරීමට එම සමාගමට බලය පැවරෙන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනයේ සඳහන් ය. ශ්‍රේෂ්ඨාධිකරණය පවසන්නේ කොළඹ වරාය නගරය තුළ ව්‍යාපාර කරන අයෙකු ශ්‍රී ලංකා වාසියෙකු සමග වරාය නගරයෙන් පිටත රට තුළ ව්‍යාපාර කිරීමට බලය ලැබෙන වගන්ති ව්‍යවස්ථාවට අනුකූල නොවන බවයි. ශ්‍රී ලංකා භූමිය ඇතුළත ව්‍යපාරවලට හානියක් සිදුවන ආකාරයෙන් නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් භාවිත කිරීම වළක්වන උපවගන්තියක් කෙටුම්පතට ඇතුළත් කළ හොත්, එම අනනුකූලතාවය ඉවත්වනු ඇති බව ද නිගමනයේ සඳහන් ය.