සුළි කුණාටුවට හසුව ඉන්දීය යාත්‍රාවක් මුහුදේ ගිලෙි

සුළි කුණාටුවට හසුවී ඉන්දීය යාත්‍රාවක් මුහුදේ ගිලෙයි.. 90 දෙනෙක් අතුරුදන්

by Sagarika Chathumali 18-05-2021 | 4:55 PM

COLOMBO (News 1st) : මාරාන්තික කොරෝනා වෛරස ව්‍යාප්තියේ දරුණුතම බලපෑමට ලක්ව සිටින ඉන්දියාවට මේ වනවිට කාලගුණයෙන් ද සරදම් එල්ල වන්නට පටන් ගෙන තිබේ.

ඒ, ආරබි මුහුදේ හටගත් 'Tauktae' සුළි කුණාටුව මේ වනවිට ඉන්දියාව තුළට කඩා වැදීමත් සමගයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, මුම්බායි නුවරට ඔබ්බෙන් මුහුදේදී යාත්‍රාවක් ටොක්ටේ සුළි කුණාටුවට හසුවී ගීලි යාමෙන් පුද්ගලයින් 90කට අධික පිරිසක් අතුරුදන්ව ඇති බවයි. ඉන්දීය නාවික හමුදාව උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, නෞකාව සුළි කුණාටුව හමුවේ මුහුදේ ගසා ගෙන ගිය අවස්ථාවේ එහි පුද්ගලයින් 270 දෙනෙකු සිට ඇති බවයි. ඉන් පුද්ගලයින් ගෙන් 177 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගනු ලැබ ඇති අතර අතුරුදන්වූ පිරිස් සොයා මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර තිබේ. ඉන්දියාවේ තෙල් හා ස්වාභාවික ගෑස් සංස්ථාවට අයත් මෙම නෞකාව මෙලෙස සුළි කුණාටුවට හසුව ගසා ගෙන ගොස් ඇත්තේ, කැනීමක් සඳහා යොදවා සිටි පිරිසක් රැගෙන යමින් සිටියදී ය. මේ අතර සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 700 ක් පමණ රැගත් තවත් වාණිජ නෞකා තුනක් මුහුදේ අතරමං වී ඇති බවට ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ , පසුගිය සඳුදා ගුජරාට් ප්‍රාන්තයෙන් රට තුළට කඩා වැඳුණු සුළි කුණාටුවත් සමග කේරළ, තමිල්නාඩු, මහාරාෂ්ට, කර්නාටක, සහ ගෝවා යන ප්‍රාන්ත 6කට මේ වනවිට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර අවම වශයෙන් සුළි කුණාටුවට බිලි වී ඇති ජීවිත ගණන 12ක් පමණ වේ. මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, දහස් ගණනක් වූ ඉන්දීය වැසියන් බටහිර වෙරළ තීරයෙන් ඉවත් කර ඇති අතර පීඩාවට පත් පිරිස් ගලවා ගැනීමේ දැවැන්ත මෙහෙයුම් ද ක්‍රියාත්මක බවයි. අතරමං වූ යාත්‍රා තුනේ සිටින පිරිස් බේරා ගැනීම සඳහා යුද නැව් තුනක් යොමු කර ඇති බව ඉන්දීය නාවික හමුදාව විදේස මාධ්‍යට පවසා ඇත.