ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම ගැන මතභේදයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත් නව ගිවිසුම සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක්

by Staff writer 18-05-2021 | 3:47 PM

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත් නව ගිවිසුම සම්බන්ධයෙන් මේ වන විට මතභේදාත්මක තත්ත්වයක් ඇතිව තිබේ.

ඒ හේතුවෙන් කිසිදු ක්‍රීඩකයෙකු නව ගිවිසුමට මෙතෙක් අත්සන් තබා නැතැයි වාර්තා වේ. නව ක්‍රීඩා කොන්ත්‍රාත් ගිවිසුම සකස් කළේ, අරවින්ද ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් උපදේශක කමිටුවයි. ක්‍රීඩකයන්ගේ දක්ෂතා වෙනුවෙන් 50 %ක්, ශාරීරික යෝග්‍යතාව වෙනුවෙන් 20 %ක්, ස්වාධීන සූදානම වෙනුවෙන් සියට 10 %ක්, නායකත්වය සඳහා පෙරමුණ ගැනීම වෙනුනේ 10% ක් අනාගතය සඳහා වැඩදායි බව වෙනුවෙන් 10 ක් වන ප්‍රසාද ලකුණු ක්‍රමවේදයක් යටතේ ක්‍රීඩකයින් වර්ගීකරණය කිරීම සිදුකර තිබේ. ඒ අනුව A, B, C, සහ D යනුවෙන් කාණ්ඩ 4 ක් යටතට ක්‍රීඩකයින් අයත්වේ. ඛාණ්ඩයක් ඇතුළත් අනු කාණ්ඩ 3 ක් යටතේ ක්‍රීඩකින් ශ්‍රේණිගත කර තිබීම විශේෂත්වයකි. අදාළ ඛාණ්ඩ ගත කිරීම අනුව ක්‍රීඩා කොන්ත්‍රාත්තුව පිරිනැමෙන අතර ඒ අනුව හිමිවන වාර්ෂික දීමනාව ද වෙනස් වේ. ඉහළම කාණ්ඩයේ සිටින ක්‍රීඩකයකුට, වාර්ෂික ගිවිසුම අනුව හිමි වන මුදල අමරිකානු ඩොලර් 100,000 කි. එය මෙරට මුදලින් රුපියල් මිලියන 19. 6 ක් පමණ වේ. කොන්ත්‍රාත් ගිවිසුම් අනුව පහළම කාණ්ඩයේ සිටින ක්‍රීඩකයකුට වාර්ෂිකව හිමිවන්නේ ඇමරිකානු ඩොලර් 25,000 කි. එය මෙරට මුදලින් රුපියල් මිලියන 4 .9 කි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්, 24 දෙනෙකු නව ගිවිසුමට ඇතුළත් කර තිබේ. අදාළ කොන්ත්‍රාත් ගිවිසුම අනුව වැඩිම දීමනාව හිමිව ඇත්තේ ධනංජය ද සිල්වාට හා නිරෝෂන් දික්වැල්ටයි. අඩුම දීමනාව ලබන්නේ අෂේන් බණ්ඩාර හා අකිල ධනංජය යන ක්‍රීඩකයින් ය . වාර්ෂික ගිවිසුම් සකස් කිරීමේදී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනකුගේම දීමනා වලින් විශාල ප්‍රමාණයක් කැපී ගොස් තිබීම විශේෂත්වයකි. ඒ අනුව හිටපු නායකයන් වන ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ සුරංග ලක්මාල් යන ක්‍රීඩකයින් තිදෙනාගෙන්ම කලින් වසරේදී පැවැති කොන්ත්‍රාත් මුදලින් 50% ක් පමණ කැපී ගොස් තිබේ. වත්මන් ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නගෙන් 30% ක් පමණ කැපී ගොස් තිබිණ. මේ අනුව බංග්ලාදේශ තරග සංචාරය අවසන් වීමෙන් පසු ක්‍රීඩකයින් සමග නව කොන්ත්‍රාත් ගිවිසුම් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සහ ක්‍රිකට් උපදේශන කමිටුව සාකච්ඡා කිරීමට නියමිතයි.