අපිට එන්නත් නිසි කලට ලැබෙයිද?

තවත් කොරෝනා මර්දන එන්නත් මාත්‍රා මිලියන 20ක් වෙනත් රටවලට දෙන්න අමෙරිකාව සැරසෙයි: අපිට එන්නත් නිසි කලට ලැබෙයිද?

by Staff writer 18-05-2021 | 9:43 PM
COLOMBO (News 1st) – රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා 185,000ක් ලබන අඟහරුවාදා දිවයිනට ලැබෙන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. ඔහු සඳහන් කළේ, ලබන මාසයේ සිට සෑම මසකම ස්පුට්නික් එන්නත් තොග මෙරටට ලබා දීමට රුසියාව එකඟ වී ඇති බවය. චීනය ද මෙම වසර පුරා සයිනෝෆාර්ම් එන්නත් මාත්‍රා මිලියන 13ක් ලබා දීම සදහා එකඟතාව පළ කළ බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබා දුන් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලබා දීමට අවශ්‍ය එන්නත් මාත්‍රා ලක්ෂ 6 තවමත් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව නොමැත. ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙලෙස සිය අදහස් පළ කළේය.
"අපි අමෙරිකා එක්සත් ජනපදය ඒ වගේම කැනඩාවේ සහ යුරෝපීය සංගමයේ රටවල්වල මේ සිදුවන වර්ධනය කෙරෙහි අවදානයෙන් සිටින්නේ ඒ සියලුම රටවල්වල ලංකාවේ තානාපතිවරු අපි දැනුවත් කළා. ඒ රටවල එන්නත් ප්‍රධානය කරනවා නම් අපේ රටට ප්‍රමුඛත්වයක් දීලා ලබා ගැනීම සඳහා කටයුතු යොදන්න කියලා"
මේ අතර තවත් කොරෝනා මර්දන එන්නත් මාත්‍රා මිලියන 20ක් වෙනත් රටවලට පරිත්‍යාග කරන බව, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසයි . ඔහු සඳහන් කළේ, ඉදිරි සති 6 තුළ එම එන්නත් තොග නැව්ගත කරන බවය. වසංගතයට එරෙහි සටනේදී ලෝකයට නායකත්වය දීමේ වැඩපිළි‍වෙළ යටතේ එය ක්‍රියාත්මක කෙරෙන බව ද, ඔහු සඳහන් කළේ ය. ඒ අනුව අමෙරිකාව විදෙස් රටවලට ලබාදෙන සමස්ත එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලියන 80ක් පමණ වනු ඇති. එන්නත් ප්‍රදානය මගින් චීනය හා රුසියාව ලොවට බලපෑම් කිරීම පිළිබඳව දැඩි කතාබහක් පැවතිය ද, වෙනත් රටවලින් වරප්‍රසාද ලබා ගැනීම උදෙසා අමෙරිකාව එන්නත් ප්‍රදානය නොකරන බව ද ජෝ බයිඩ්න් අවධාරණය කළේ ය.