දිවයින පුරා ගමන් තහනම සීමාවන්ට යටත්ව ඉවතට

දිවයින පුරා පැවති ගමන් තහනම සීමාවන්ට යටත්ව ඉවත් කෙරේ..

by Staff writer 17-05-2021 | 6:53 AM

COLOMBO (News 1st) – දිවයින පුරා ක්‍රියාත්මක වූ ගමන් තහනම සීමාවන්ට යටත්ව අද(17) අලුයම 4.00 ට ඉවත් කෙරිණි .

කෙසේ වෙතත් අද සිට සෑම දිනකම රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා පනවා ඇති ගමන් තහනම මේ මස 31 වැනිදා දක්වා ක්‍රියාත්මකයි. ඒ අනුව සංචරණ සීමා නොමැති වේලාවන්හි හැඳුනුම්පතේ අංක අනුව ගමන් කිරීමට අවසර ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ය. ගමන් තහනම ක්‍රියාත්මක නොවන කාල සීමාව තුළදී පවා එක් දිනයකදී නිවසකින් පිටවීමට හැක්කේ හැඳුනුම්පත් අංකය අනුවයි. හැඳුනුම්පතේ අවසාන ඉලක්කම ඉරට්ටේ නම් ඉරට්ටේ දිනවලදී ද අවසාන අංකය ඔත්තේ නම් ඔත්තේ දිනවලදී ද නිවසින් පිටව යා හැකියි. අවසාන අංකය බිංදුව නම් එය ඉරට්ටේ අංකයක් ලෙස සැලකෙයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ , රාජකාරී කටයුතු සහ සෞඛ්‍ය සේවා ලබා ගැනීම සඳහා මෙය අදාළ නොවන බවයි. මේ අතර හැඳුනුම්පත නොමැති අවස්ථාවලදී රියැදුරු බලපත්‍රය මෙන්ම විදෙස් ගමන් බලපත්‍රය ද භාවිත කළ හැකි බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ය. එදිනෙදා තම කරමාන්ත සිදු කරනු ලබන පුද්ගලයින්ට සිය කර්මාන්තය සඳහා සහභාගි වීම සඳහා අවසර ලැබෙන බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ ය.