කොවිඩ් ආසාදිතයින් ආසන්නතම ප්‍රතිකාර මධ්‍යස්ථානයට

COVID ආසාදිතයින් ළඟම ප්‍රතිකාර මධ්‍යස්ථානයට හෝ අතරමැදි මධ්‍යස්ථානයට....

by Sagarika Chathumali 17-05-2021 | 3:15 PM

COLOMBO (News 1st) : කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින් පදිංචි ආසන්නතම ප්‍රතිකාර මධ්‍යස්ථානවලට සහ අතරමැදි මධ්‍යස්ථානවලට යොමු කරමින් අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය‌ මෙම තීරණයට එළැඹ ඇත්තේ, කොවිඩ් මර්දන වැඩපිළිවෙළ පිළිබඳ ක්ෂණික තීරණ ගැනීම සඳහා වූ COVID – 19 විශේෂ ක්‍රියාකාරී කාර්ය සාධන කමිටුව අද (17) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදී ය. යම් පුද්ගලයෙකු ආසාදිතයෙකු වු විට ඔහුට සහ ඔහුගේ පවුල්වලට බලපාන දැඩි මානසික පීඩනය පිළිබඳව අවධානය යොමු කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් මෙම තීරණය ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

විශේෂ ක්‍රියාකාරී කාර්ය සාධන කමිටුවේදී එළැඹි අනෙකුත් තීරණ පහත පරිදි වේ.

⭕ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන විසින් ඉදි කරමින් යනු ලබන ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දීම. ⭕ එම ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කඩිනමින් ලබා දීම. ⭕ වැඩි සෞඛ්‍ය කාර්ය මණ්ඩල සිටින රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථානවලින් මෙම ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත කාර්ය මණ්ඩල යොමු කිරීම ⭕ එමෙන්ම දෙවන එන්නත් මාත්‍රාව ලබා දීමට අවශ්‍ය එන්නත් තොග ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනම් කිරීමට රාජ්‍ය ඖෂධ සංස්ථාවට උපදෙස් ලබා දීම ⭕ PCR පරීක්ෂණවලට සමගාමීව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වැඩි වශයෙන් ක්ෂේත්‍රයේදී සිදු කිරීම මෙම රැස්වීම සඳහා ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ , සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය මේජර් ජනරාල් සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් කිහිප දෙනෙකු එක්ව සිට ඇත. https://youtu.be/hQGZ0DQEo0E