වරාය නගර පනතේ අධිකරණ තීරණය 18 පාර්ලිමේන්තුවට

කොළඹ වරාය නගර පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ලබන 18වැනිදා පාර්ලිමේන්තුවට

by Chathuranga Rajapaksha 16-05-2021 | 4:17 PM
COLOMBO (News 1st): කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මේ අතර ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම මැයි 18වැනිදා සිට මැයි 20 වැනිදා දක්වා දින 03ක් පැවැත්වීමට තීරණය කර ඇති බව ද එම නිවේදනයේ දැක්වේ. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එම තීරණය ගෙන තිබේ. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ මැයි 19 සහ 20 යන දෙදින තුළ පැවැත්වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පාර්ලිමේන්තු රුස්වීම පැවැත්වෙන බව ද ඔහු සඳහන් කළේය. ඒ අනුව මැයි 19 වැනිදා පෙරවරු 10.00 සිට පස්වරු 5.30 දක්වාත් මැයි 20 වැනිදා පෙරවරු 10.00 සිට පස්වරු 4.30 දක්වා විවාදය පැවැත්වීමට නියමිතය. මැයි 19 සහ 20 යන දින දෙක තුළදී මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන් නොකෙරෙන බව ද මහ ලේකම්වරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය..