මහ වැස්සෙන් දිස්ත්‍රික්ක 07ක පුද්ගලයින්ට පීඩා..

මහ වැස්සෙන් දිස්ත්‍රික්ක 7ක පුද්ගලයින් 11,500කට පීඩා: ප්‍රදේශ කිහිපයකට තවදුරටත් නායයාමේ අනතුරු ඇඟවීම්..

by Staff writer 15-05-2021 | 8:04 AM

COLOMBO (News 1st) – දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 7 ක පවුල් 2,750ක් පීඩාවට පත්ව සිටී.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ පුද්ගලයින් 11,542 දෙනෙකු ඒ අතර වන බවය. අයහපත් කාලගුණයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 325 ක පුද්ගලයින් 1,132 දෙනෙකු පීඩාවට පත්ව සිටී. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ , කොළඹ පවුල් 270 ක පුද්ගලයින් 1,115 දෙනෙකු ගම්පහ පවුල් 1,385ක පුද්ගලයින් 6,119 දෙනෙකු, මාතර පවුල් 663 ක 2,806 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවය. කළුතර, කුරුණෑගල සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලද පුද්ගලයින් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා ඒකකයේ ජාතික සම්බන්ධීකාරක වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ අයහපත් කාලගුණ තත්ත්වයක් සමග අවතැන්වන පුද්ගලයින් සෞඛ්‍ය ආරක්ෂිතව රැකබලා ගැනීම සඳහා මාර්ගෝපදේශ නිකුත් කර ඇති බවය. මේ වනවිට පහත්බිම් රැසක් ජලයෙන් යටව ඇතැයි, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්ෂ එස්. ටී. සී. සුගීෂ්වර මහතා සඳහන් කළේ ය. මේ අතර ප්‍රධාන ජලාශ 12ක වාන් දොරටු විවෘත කර ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දැදුරු ඔය ජලාශයේ පමණක් තප්පරයට ඝන අඩි 12,000ක් පමණ පහළට මුදා හරින බවයි. ඒ අනුව, එම ජලාශය පහළ ජනතාව අවධානයෙන් සිටීම ඉතාම වැදගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ ය. එහි ජල කළමනාකරණ අධ්‍යක්ෂ ඩී. අබේසිරිවර්ධන මහතා පැවසුවේ, තවත් ප්‍රධාන ජලාශ 15ක් උපරිම ජල මට්ටම කරා ළඟා වෙමින් පවතින බවය. මේ අතර පවතින අධික වර්ෂාපතනයත් සමග ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නිකුත් කළ නායයාමේ අවදානම් නිවේදනය අද රාත්‍රිය තෙක් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ ය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනය ක‌ළේ , සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බවය.