චීනය අඟහරු මත සිය පළමු 'මං සලකුණ' සනිටුහන් කරයි

අභ්‍යවකාශ මෙහෙයුම්වල නව සලකුණක් සනිටුහන් කරමින් රතු ග්‍රහයා වෙත ගිය ‌‌ඓතිහාසික චීන අභ්‍යවකාශ ගමන

by Sagarika Chathumali 15-05-2021 | 11:55 AM

COLOMBO (News 1st) :චීනය රොබෝ රෝවරයක් (Zhurong robot) සහිත අභ්‍යවකාශ යානයක් අඟහරු ග්‍රහයා මත සාර්ථකව ගොඩ බස්සවා තිබේ.

එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ, අඟහරු මත ප්‍රථම වරට චීන අඩි පාරක් තබමින්, ටියැන්වෙන් -1 (Tianwen-1 ) අභ්‍යවකාශ යානය යූටෝපියා ප්ලැනිටියා නමින් හැඳින්වෙන විශාල තැනිතලාවේ භූමි ප්‍රදේශයකට ගොඩ බැස්සවූ බවයි. ඒ අනුව අමෙරිකා එක්සත් ජනපදයෙන් පසු අඟහරු හෙවත් රතු ග්‍රහයා මත අභ්‍යවකාශ යානයක් ගොඩ බැස්සවූ ලොව දෙවන රට බවට චීනය පත්වනු ඇති. යානය නවතා තිබූ තැන සිට එරට වේලාවෙන් අලුයම 1.00ට පිටත්ව ගොස් ඇති අතර යානය පැය 03කට පසු කක්ෂයෙන් වෙන් වී අඟහරු වෙත ඇතුළු වී තිබේ. අධිවිභේදන භූවිෂමතා කැමරාවක් ඇතුළු විද්‍යාත්මක උපකරණ 06ක් සහිත ෂුරොන්ග් (Zhurong) නම් සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන රෝවරය මගින් පරීක්ෂණ පැවැත්වීම සඳහා යානයෙන් පිටත්ව යාමට පෙර, ගොඩබෑමේ ස්ථානය පරීක්ෂා කරනු ඇති. රෝවරය අඟහරු පෘෂ්ඨයේ පස හා වායුගෝලය පිළිබඳව මෙන්ම අඟරු මත ජලය සහ අයිස් සහ ජීවි පැවැත්මක සලකුණු තිබුණේ ද යන්නත් විමර්ශනය කිරීමට නියමිතය. 'ස්වර්ගයට ප්‍රශ්න' යන අරුත් ගත් ටියැන්වෙන් - 1 යනු අඟහරු වෙත දියත් කළ පළමු චීනය ස්වාධීන අභ්‍යවකාශ මෙහෙයුමයි. ටොන් 05ක බරකින් යුත් අභ්‍යවකාශ යානය දකුණු චීන දූපතක් වන හයිනාන් සිට March - 05 රොකට්ටුව ආධාරයෙන් ගමන දියත් කළේ, පසුගිය වසරේ (2020) ජූලි මාසයේදී ය. එලෙස ගමන් ඇරඹි ටියැන්වෙන් -1 පෙබරවාරි මාසයේ දී අඟහරු වෙත ළඟා විය. Zhurong සාර්ථකව ස්ථානගත වුවහෙත් , පළමු මෙහෙයුමෙන්ම අඟහරු ග්‍රහයා වෙත රෝවරයක් කක්ෂගත කිරීම, ගොඩබෑම සහ මුදා හැරීම සිදු කළ පළමු රට බවට චීනය පත් වනු ඇති. එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් දියත් කරන ලද 'හෝප්' (Hope) අභ්‍යවකාශ යානය දැනට අඟහරු ග්‍රහයාට ඉහළින් කක්ෂගතව සිටින්නේ එහි කාලගුණය හා වායුගෝලය පිළිබඳ දත්ත එක්රැස් කරමිනි. අමෙරිකාවේ නාසා ආයතනය විසින් යවන ලද පර්සිවියරන්ස් (Perseverance) යානය ප්ලැනිටියා සිට කිලෝමීටර 2,000 කට වඩා ඈතින් පිහිටි ජෙසෙරෝ ආවාටය නම් විශාල අවපාතයට සාර්ථකව ස්පර්ශ විය. මේ අතර Tianwen-1 අභ්‍යවකාශ මෙහෙයුමෙන් පසු පසුගියදා කළ විවරණයක දී චීනය ප්‍රකාශ කර ඇත්තේ, චීනය අභ්‍යවකාශයේ නායකත්වය සඳහා තරග කිරීමට බලාපොරොත්තු නොවන නමුත් විශ්වයේ රහස් හෙළිදරව් කිරීමට සහ මානව වර්ගයාගේ සාමකාමී අවකාශය පරිහරණය කිරීමට දායක වීමට කැපවී සිටින බවය.

ජනපති ෂී ජින් පිංගෙන් සුබ පැතුම්....

''ඔබ නිර්භීතව අභියෝගය භාරගනිමින් විශිෂ්ටත්වය ලුහුබැඳ ගොස් රට ග්‍රහලෝක ගවේෂණයේ ඉහළ තලයකට ගෙන ගියා. ඔබේ විශිෂ්ට ජයග්‍රහණය සදාකාලිකවම මව් බිමේ සහ ජනතාවගේ මතකයේ රැඳෙනු ඇති'' ඒ්, චීන ජනාධිපති ෂී ජින් පිං අභ්‍යවකාශ මෙහෙයුමට සම්බන්ධ සියලු දෙනා වෙත නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයයි.