සමගි ජන බලවේගයෙන් නිවේදනයක්

ගජ මිතුරු ආර්ථිකය ශක්තිමත් කිරිමට කොවිඩ් වසංගතය යොදා ගැනිමේ ආණ්ඩුවේ උත්සාහය හෙළා දකිනවා - සමගි ජන බලවේගය

by Staff writer 15-05-2021 | 10:27 PM

COLOMBO (News 1st) - දේශපාලන අවශ්‍යතාවන් සපුරා ගැනීටමත් ගජ මිතුරු ආර්ථිකය ශක්තිමත් කිරිමටත් කොවිඩ් වසංගතය යොදා ගැනිමේ ආණ්ඩුවේ උත්සාහය තරයේ හෙළා දකින බව නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගය අවධාරණය කරයි.

එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසන්නේ කොවිඩ් රැළි තුනේදීම ආණ්ඩුව වගකීම් විරහිතව කටයුතු කර ඇති බවයි. 01- පළමු රැල්ලේදි ආණ්ඩුව මහ මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම 02-දෙවන රැල්ලක් පිළිබඳව සෞඛ්‍ය අංශ අනතුරු අඟවද්දී 20 වන සංශෝධනය සම්මත කර ගැනීමට උත්සුක වීම 03 - කොවිඩ් වෛරසයේ විකෘති ප්‍රභේද රට තුළට පැමිණිමට ඉඩ ඇති බව සෞඛ්‍ය බලධාරින් අනතුරු අඟවද්දි ආණ්ඩුව යුක්‍රේන ජාතිකයන් රට තුළට කැඳවා ගැනීම මේවා තුළින් ආණ්ඩුව වසංගත තත්ත්වය පිළිබඳ කිසිදු තැකීමකින් තොරව කටයුතු කිරීමට සාක්ෂි සපයන බව අදාළ නිවේදනයේ සඳහන් වේ. තුන්වන රැල්ලෙන් මුළු මහත් රටම අනතුරේ වැටී තිබිය දී රටේ ස්වාධිපත්‍යට බරපතල අනතුරක් සිදු විය හැකි වරාය නගර කොමිෂන් සභා පනත සම්මත කර ගැනීම සඳහා එළැඹෙන 19 හා 20 දින පාර්ලිමේන්තුව රැස් කිරිමට ගෙන ඇති තීරණයෙන් ආණ්ඩුවේ හිතුවක්කාරි පිළිවෙත මොනවට පැහැදිලි වන බව පෙන්වා දෙන සමගි බලවේගය එම පිළිවෙත හෙළා දකින බව නිවේදනයේ සඳහන් වේ.