එන්නත් ගණන් නොගත් බ්‍රසීල ජනපති වැරදිකරු වෙයිද?

COVID වසංගතය පාලනයට නිසි කල නිසි පියවර නොගත් බ්‍රසීල ජනපති වැරදිකරු වෙයි ද?

by Sagarika Chathumali 14-05-2021 | 11:11 AM

? එන්නත්කරණය මායිම් නොකළ බ්‍රසීල ජනපති වැරදිකරු වෙයි ද?

COLOMBO (News 1st): කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ අමෙරිකාවෙන් පසු ලොව දෙවන තැනට කොරෝනා මරණ වාර්තා වී ඇති රට බ්‍රසීලයයි. ආසාදිතයින් 15,436,000කට වැඩි ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇති බ්‍රසීලය පසුවන්නේ, ලොව තුන්වන තැනට ආසාදිතයින් වාර්තා වූ රට ලෙසය. මේ වනවිට වෛරසය පාලනය සඳහා ඇති එකම විසඳුම එන්නත්කරණ වැඩසටහන සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස පිළිපැදීම යන්න මුළු මහත් ලෝකයම පිළිගන්නා කරුණ වුවත් බ්‍රසීල පාලකයින් ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොදැක් වූ බවට විදෙස් මාධ්‍ය පසුගිය සමයේ දිගින් දිගටම වාර්තා කර තිබුණි. මන්දගාමී එන්නත්කරණ වැඩසටහන සහ ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ කොරෝනා මර්දනය සඳහා වූ දුර්වල ක්‍රියාපිළිවෙත නිසා එරට වෛරස ව්‍යාප්තිය පාලනයෙන් ගිලිහී ගොස් ඇති බවට ද වාර්තා පළ විය. ඒ අනුව මේ වනවිට බ්‍රසීලයේ ජීවිත රැක ගැනීමට නොහැකි වීම හමුවේ ජනාධිපතිවරයාට අපරාධ චෝදනා එල්ල වන වටපිටාවක් නිර්මාණය වෙමින් පවතී. ඒ, බ්‍රසීලයට කොරෝනා එන්නත් අලෙවි කිරීමට පසුගිය වසරේ සිට ෆයිසර් සමාගම දැරූ උත්සාහයට බ්‍රසීල බලධාරීන් නිසි ප්‍රතිචාරයක් නොදැක්වූ බවට එම සමාගම ප්‍රකාශ කිරීමත් සමගිනි. ෆයිසර් සමාගමේ ලතින් අමෙරිකානු රටවල් සඳහා වන ප්‍රධාන විධායක නිලධාරීවරයා පවසන්නේ, පසුගිය වසරේ අගෝස්තු සහ නොවැම්බර් දක්වා නැවතත් බ්‍රසීලයට එන්නත අලෙවි කිරීමට උත්සාහ දැරුව ද බ්‍රසීල ආණ්ඩුවෙන් ඊට නිසි ප්‍රතිචාරයක් හිමි නොවූ බවයි. ෆයිසර් ප්‍රධාන විධායක නිලධාරී කාලෝස් වැඩිදුරටත් පවසා ඇත්තේ, සිය ආයතනය බ්‍රසීලයට එන්නත් අලෙවි කිරීමට කැමැත්තෙන් පසුවන බවට සඳහන් කරමින් පසුගිය සැප්තැම්බර් 12 වැනිදා ෆයිසර් ආයතනය බ්‍රසීල ජනාධිපතිවරයාට, ඔහුගේ කැබිනට් මණ්ඩලයට සහ එවක සෞඛ්‍ය අමාත්‍යවරයාට ලිපි යොමු කළ නමුත් මාස දෙකක් යනතුරු කිසිවෙකුගෙන් ඊට පිළිතුරු නෙලැබුණු බවය. බොල්සොනාරෝගේ රජය වසංගත පාලනය වැරදි සහගත ලෙස හසුරුවා ඇත් ද පිළිබඳ සෙවීමට මේ වනවිට එරට සෙනෙට් මණ්ඩලයක් විසින් විමර්ශනයක් ද ආරම්භ කරනු ලැබ ඇති අතර හිටපු සෞඛ්‍ය අමාතයවරයා ද සාක්ෂි දීමට නියමිත ය. බ්‍රසීල ජනාධිපතිවරයා දිගින් දිගටම විශ්වාසය පළ කළේ චීන එන්නත මත පමණක් යැපී වසංගතය පාලනය කර ගත හැකි බවටයි. නිෂ්පාදන ගැටලු සහ වෙනත් බාධා හේතුවෙන් චීනයේ ද මේ වනවිට එන්නත් නිෂ්පාදනය මන්දගාමී වී ඇති බවට වාර්තා පළ වේ. රට වසා දැමීම හෝ මුව ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද පිළිබඳ සැලකිල්ලක් නොදක්වූ ජනාධිපතිවරයා එවක අවධාරණය කළේ , රට වසා දැමුවහොත් ආර්ථිකයට දැඩි බලපෑමක් සිදුවනු ඇති බවයි. වසංගත ව්‍යාප්තිය ආරම්භ වූ දා සිට මේ දක්වා ජනාධිපති බොල්සොනාරෝ සමග ඇති වූ මත ගැටුම් හේතුවෙන්ට බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම ඉල්ලා අස් වූයේ, මෙවන් දරුණු වසංගත ව්‍යාප්තියක් හමුවේ සෞඛ්‍ය පද්ධතියේ බිඳ වැටීම පෙන්නුම් කරමිනි. සුළු ලාභයක් ගැන සිතා බ්‍රසීල බලධාරීන් චීන සහ බ්‍රිතාන්‍ය එන්නත රට තුළ නිෂ්පාදනය කිරීමට සිහින දකිද්දී ලක්ෂ 04කට වැඩි බ්‍රසීල වැසියන් පිරිසකට සිදු වූයේ, මාරයාගෙන් බේරීමට තිබූ මග දැක දැක මාරයාට ජීවිතය බිලි දීමටයි. මිලියන 211කට වැඩි ජනගනයක් ජීවත් වන බ්‍රසීලයේ මේ වනවිට එන්නත ලබා දී ඇත්තේ 11%ක් වැනි සුළු පිරිසකට පමණි. කෙසේ වෙතත් බ්‍රසීල අණ්ඩුව අවසානයේ ෆයිසර් සමාගම සමග එන්නත් මාත්‍රා මිලියන 100 ක් සඳහා පසුගිය මාර්තු මාසයේදී ගිවිසුම්ගත වී ඇති අතර එහි පළමු මාත්‍රා මිලියනය අප්‍රේල් මාසයේ දී එරටට ලැබී ඇති අතර තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 628,000 ක් පසුගිය බදාදා බ්‍රසීලයට ලැබී ඇති අතර සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ මාත්‍රා මිලියන 1.6 ක් මේ වන විට බෙදා හැර ඇති බවය. ෆයිසර් සමගම පැවසුවේ, ෆයිසර් සිව්වන කාර්තුවේදී බ්‍රසීලයට බෙදා හැරීම සඳහා තවත් මාත්‍රාවන් මිලියන 100 ක් සඳහා ගිවිසුමක් අත්සන් කිරීමට සූදානම් බවය. සෞඛ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම ඉල්ලා අස්වීම, ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව වසංගතය පාලන කිරීමට නිසි පියවර නොගැනීම හමුවේ මේ වනවිට ලක්ෂ ගණනක් බ්‍රසීල වැසියන්ට ජීවිත අහිමි වී අවසන් ය. දැන් එන්නත් ගැන උනන්දුවක් දක්වන බ්‍රසීල බලධාරීන් මේ කරන්නේ, අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දැමීමට සමාන දෙයක් නොවේ ද?