by Staff writer 13-05-2021 | 9:28 PM
COLOMBO (News 1st) : පොලිස් අත්අඩංගුවේ සිටි තාරක පෙරේරා විජේසේකර නොහොත් 'කොස්ගොඩ තාරක' නැමැත්තා ඝාතනයට ලක්ව ඇත්තේ ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඇතුළු පොලීසියට කරුණු දැනුම් දී තිබියදී බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.
නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ ලේකම් නීතිඥ රජීව් අමරසූරිය මහතාගේ අත්සනින් අද නිකුත් කළ නිවේදනයක අවධාරණයක කර ඇත්තේ මෑතකදී පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදෙනෙකු මේ අයුරින් මියයාම සංගමයේ විධායක කමිටුව දැඩි ලෙස හෙළා දකින බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි තම සේවා දායකයා හදිසියේම පෑලියගොඩ විශේෂ පොලිස් ඒකකයට මාරුකර ඇති බවත් ඔහු අත්අඩංගුවේදී මරා දමනු ඇති බවත් කොස්ගොඩ තාරක නැමැත්තාගේ නීතිඥවරයා ඊයේ (12)ඊමේල් පණිවිඩයක් මගින් නීතිඥ සංගමය දැනුවත් කර තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ , එම දැනුවත් කිරීම අනුව ඊයේ රාත්‍රී 8 ත් 9 ත් අතර ඊමේල් හා වට්ස්ඇප් පණිවිඩයක් මගින් නීතිඥවරයාගේ සාධාරණ බිය පිළිබඳව පොලිස්පතිවරයා දැනුවත් කළ බවයි.
මෙම මරණවලට අධිකරණමය නොවන ඝාතනවල සියලු ලක්ෂණ ඇති බව පෙන්වා දෙන නීතිඥ සංගමය තම භාරයේ සිටින පුද්ගලයින්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටී.
නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ මිනීමැරීම ඇතුළු බරපතල අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයින් නිසි අධිකරණයක් ඉදිරියේ නඩු පවරා වරදකරු කිරීමෙන් පසුව පමණක් එකී අපරාධවලට දඬුවම් ලබාදිය යුතු බවයි.
එවැනි ක්‍රියාකාරකම්වලට සහය වූ සහ අනුබල දුන් ජාලවලට එරෙහිව ද ඒ ආකාරයෙන්ම නඩු පවරා එම ජාලයන්ද මුලින් උපුටා දැමීම අපරාධ යුක්තියේ අත්‍යාවශ්‍ය අංගයක් බව ද ඔවුන් සිහිපත් කරයි.
තම අත්අඩංගුවේ සිටින නිරායුද සැකකරුවන් ආරක්ෂා කිරීමට පොලීසියට අවස්ථා කිහිපයකදීම නොහැකි වී තිබීම තේරුම්ගත නොහැකි බව පවසන නීතිඥ සංගමය අවධාරණය කරන්නේ මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙසත් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසත් ජනාධිපතිවරයාගෙන් හා රජයෙන් ඉල්ලා සිටින බවයි.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බොහෝ තීන්දු තීරණවලදී තම භාරයේ සිටින පුද්ගලයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා රජය වෙත වගකීමක් පැවරී ඇති බව නැවත නැවතත් අවධාරණය කර ඇති බව ද නීතිඥ සංගමය සිහිපත් කර තිබේ.