සිහිනයට ඉඩ දෙන්න.... (VIDEO)

by Staff writer 12-05-2021 | 10:49 AM

COLOMBO (News 1st) : කොරෝනා වසංගතයේ තවත් රැල්ලක් අප රට වෙළාගනිමින් සිටින මොහොතක එම අභියෝගය හමුවේ අපේ ආදරණීය ජනතාවට චිත්ත ශක්තිය ලබාදීම වෙනුවෙන් නිර්මාණය වුණු ගම්මැද්ද නැගිටිමු ශ්‍රී ලංකා ගීතය නව සංස්රණයකින් අද යළි එළි දැක්වීය.

ලොවක් වෙලාගත් කොරෝනා වසංගත තත්ත්වය හමුවේ නිවෙස්වලට කොටුවූ අවස්ථාවේ රටක් ලෙස ඒ ජනතාවගේ මනස ආමන්ත්‍රණය කරමින්, සිතුවිල් වලින් නොවැටී සිටින්නට ධෛර්ය ලබාදීමේ අරමුණින් නිර්මාණය කළ ගම්මැද්ද නැගිටිමු ශ්‍රී ලංකා ගීතය රටක් වැලඳගත්තේ ජාතික ගීයට පමණක් දෙවැනි කොට ගනිමිනුයි. අප අතරින් වියෝ වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු මෙන්ම ජනප්‍රිය ගීත රචකයෙකු වූ සිඩ්නි චන්ද්‍රසේකරයන්ගේ අරුත්බර පදවැල්වලට, තනු නිර්මාණය හරහා ජීවය ලබා දුන්නේ නව පරපුරේ සංගීතවේදියෙකු වන අශාන් ප්‍රනාන්දුයි. භාතිය- සන්තුෂ්, සුනිල් පෙරේරා, සෙහාන් වීරසිංහ, කොරීන් අල්මේදා, ඕලු වසන්ති, ශානිකා මදුමාලී,ජූට් රෝගන්, තීක්ෂණ අනුරාධ, ශානිකා වනිගසේකර, සහිත්‍යා ගජමුගන්, අයියාතුරෙයි ගජමුගන් මීට ගායනයෙන් එක්වූහ. මෙම ගීතය පළමුව සම්පූර්ණයෙන් ම පුද්ගලික දුරස්ථභාවය ආරක්ෂා කරගනිමින් විවිධ සමාජ ජාලා මාධ්‍ය භාවිත කරමින් සිදු කළේ, රටටම අලුත් අත්දැකීමක් තිළිණ කරමිනි. රටක් එක්ව ගායනා කළ නැගිටිමු ශ්‍රී ලංකා ගීතය විවිධ පිරිස්, විවිධාකාරයෙන් වැළඳගත් අතර, වයස් භේදයකින් තොරව, ජාති, ආගම් භේදයකින් තොරව ජනතාවගේ මුවඟ රැව් පිළිරැව් දුන්නේ, සැබවින්ම සිත්තුළ නව බලාපොරොත්තු රෝපණය කරමිනි. නැගිටිමු ශ්‍රී ලංකා ගීතය ගායනයෙන් පමණක් නොනැවතී වාදනයෙන් සහ රංගනයෙන් ද නිර්මාණශීලිව බොහෝ පිරිසක් දායකවය ලබා දුන්හ. ටික දිනකින්, නැගිටිමු ශ්‍රී ලංකා චිත්‍ර නිර්මාණ හරහාද කුඩා දරුවන් අප හා එක්වු් ඔවුගේ සිතුවිලිවලට ද අලුත් වේදිකාවක් නිර්මාණය කරමිනි. සියලු සමාජ මාධ්‍ය තුළ ද නැගිටිමු ශ්‍රී ලංකා ගීතය අද වන විට තාරුණ්‍යයේ හදවත් ස්පර්ශ කර අවසන් ය. යොවුන් පරපුර තුළ මේ වනවිට ශ්‍රී ලාංකිකයින් වශයෙන් යළි නැගී සිටීමේ ශක්තිය කලාව හරහා බිහි වී තිබීම සතුටට කරුණකි.

ගම්මැද්ද නැගිටිමු ශ්‍රී ලංකා.... යළි නැගී සිටින ශ්‍රී ලංකාවේ යෝධ පියවරක විශ්වසනීය ආරම්භයයි....