වී මිලදී ගැනීම ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

කාබනික පොහොර නිසා අස්වැන්න අඩු වී ආදායමේ යම් වෙනසක් වුවහොත් සහතික මිල ඉක්මවා වී මිලදී ගැනීමට රජය සූදානම් - ජනපති

by Staff writer 12-05-2021 | 5:23 PM

COLOMBO (News 1st) - කාබනික පොහොර භාවිතයේදී අස්වැන්න අඩු වී ආදායමේ යම් වෙනසක් වුවහොත් සහතික මිල ඉක්මවා වී මිලදී ගැනීමට රජය සූදානම් බවත් ගොවියා ඒ සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිතුමා සඳහන් කළේ, පාරිභෝගිකයාට පවතින මිලට සහල් ලබාගත හැකි පරිදි වැය බර දැරීමට රජය සූදානම් බවයි. රසායනික පොහොර ආනයනය කළ සමාගම් කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කරන්නේ නම් ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට රජය සුදානම් බව ජනාධිපතිතුමා කියා සිටියේය. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ දේශගුණික විපර්යාසයන්ට තිරසර විසදුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින් සමග ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදීය. කාබනික පොහොර භාවිතයට එළැඹීම නිරෝගීමත් අනාගත පරපුරක් වෙනුවෙන් බව ජනාධිපතිතුමා පවසයි.