ගංගානම් නදියේ පා වෙන මළ සිරුරු

ගංගානම් නදියේ පා වෙන්නේ කොවිඩ් මළ සිරුරු ද?

by Sagarika Chathumali 11-05-2021 | 8:42 AM

COLOMBO (News 1st) : උතුරු ඉන්දියාවේ ගංගානම් නදියේ පාවෙමින් තිබූ මළ සිරුරු 40 ක් පමණ මේ වන විට සොයාගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, බිහාර් සහ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තවලදී හමුවී ඇති මෙම මළ සිරුරු කොරෝනා ආසාදිතව මිය ගිය පුද්ගලයින්ගේ විය හැකි බවටයි. මෙම මළ සිරුරු එම ස්ථානවලට පැමිණියේ කෙසේ ද යන්න පිළිබඳ පැහැදිලි නැතත් පවතින දැව හිඟය හේතුවෙන් මෘත දේහ ගංඟාවට බැහැර කරන්නට ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය. එලෙස සිරුරු බැහැර කිරීමට තවත් හේතුවක් වී ඇත්තේ අවමංගල්‍ය කටයුතු සඳහා වැය කිරීමට ජනතාවට මුදල් නොමැති වීමයි. මේ අතර ඇතැම් වාර්තාවල සඳහන් වන්නේ, මළ සිරුරු 100ක් පමණ සොයා ගෙන ඇති බව සහ එම සිරුරවල ස්වභාවය අනුව මළ සිරුරු දින කීපයක් ගඟේ තිබී ඇති බවටයි. කොවිඩ් දෙවන රැල්ල හේතුවෙන් ඉන්දියාව මේ වනවිට නොසිතූ විරූ විපත්තිකාරී  තත්ත්වයකට ඇද වැටී ඇති අතර අවම වශයෙන් මිය යන පිරිස්වල අවසන් කටයුතු කිරීම සඳහා දර පවා සොයා ගැනීම අසීරුවන තරමට තත්ත්වය දුකඛ්‍යදායි වී ඇත. මේ වනවිට ඉන්දියාවෙන් වාර්තාවී ඇති ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 22.6 කට වැඩි වන අතර මරණ සංඛ්‍යාව 246,116 කි. කෙසේ වෙතත් කොරෝනා පළමු රැල්ලේදී දැඩි බලපෑමට ලක්වූ ලෝක බලවතුන් ඇතුළු රටවල් රැසක් මේ වනවිට එන්නත්කරණය සහ රෝග ව්‍යාප්ති පාලනය ඇතුළු ක්‍රියාමාර්ග හේතුවෙන් කොරෝනා වසංගත ව්‍යාප්තිය සාර්ථකව මැඩ පැවැත්වීමට සමත් වී තිබේ.