Covid:පශ්චාත් උපාධි හදාරණ වෛද්‍යවරුත් කැඳවයි..

කොරෝනා ප්‍රතිකාර සඳහා පශ්චාත් උපාධියේ නියැළෙන වෛද්‍යවරුත් කැඳවීමට පියවර..

by Staff writer 10-05-2021 | 8:58 AM

COLOMBO (News 1st) : කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා පවතින වෛද්‍යවරුන්ගේ හිඟයට පිළියමක් ලෙසට දැනට පශ්චාත් උපාධිය හදාරන වෛද්‍යවරුන් 400 දෙනෙකු නැවත රෝහල්වල නිදහස් කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

නියෝජ්‍ය සංස්කාරක වෛද්‍ය නවින්ද සොයිසා මහතා කියා සිටියේ , සෞඛ්‍ය අමාත්‍යාංශය කළ ඉල්ලීමකට අනුව එම නිදහස් කිරීම සිදු කරන බවය. මේ අතර කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස රාජගිරියේ පිහිටි ආයුර්වේද රෝහල යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. එහි වෛද්‍ය සේවා පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සඳහන් කළේ, එම රෝහල මෙතෙක් කොරෝනා රෝගීන් නිරෝධායනය කිරීම සඳහා යුද හමුදාවට ලබා දී තිබූ බවයි. ඊට අමතරව අක්මීමන හා හබරාදුව ප්‍රදේශයේ ද අතරමැදි රෝහල් 02ක් සකස් කිරීමට පියවර ගෙන ඇති බව වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සඳහන් කළේ ය. සෑම රෝහලකම කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා වාට්ටුවක් වෙන් කරන ලෙසට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට හා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට උපදෙස් ලබා දී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.