කොකේන් සමග ද. අප්‍රිකානු ජාතිකයෙකු අත්අඩංගුවට..

ෂැම්පු බෝතල් අස්සේ සඟවා තිබූ කොකේන් සමග ද. අප්‍රිකානු ජාතිකයෙකු කටුනායකදී රේගු අත්අඩංගුවට..

by Staff writer 09-05-2021 | 1:35 PM

COLOMBO (News 1st) – දෝහා හරහා කෙන්යාවේ සිට පැමිණි දකුණු අප්‍රිකානු ජාතිකයෙකු කටුනායකදී රේගු අත්අඩංගුවට ගෙන ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඔහුගේ පෞද්ගලික භාණ්ඩ පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබූ ෂැම්පු බෝතල 2 ක් තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ පාර්සල් 03ක කොකේන් නැමැති මත්ද්‍රව්‍යය කිලෝ 2 යි ග්‍රෑම් 29 ක්‌ සොයා ගැනුණි. මෙම කොකේන් මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 60කට ආසන්න වේ. මූලික පරීක්ෂණ කටයුතු ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් සිදු කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලීසියේ මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත ලබා දීමට නියමිතය. ලෝකය පුරා පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වුව ද රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් දැඩි කැපවීමකින් ශ්‍රී ලංකාවට පැමිණෙන මගින් පිළිබඳව අවධානයෙන් සිටීමේ ප්‍රතිඵලයක් ලෙස මම අත්අඩංගුවට ගැනීම සිදු වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.