චීන රොකට්ටුවේ සුන්බුන් ඉන්දීය සාගරයට..

චීන රොකට්ටුවේ සුන්බුන් ඉන්දීය සාගරයට..

by Staff writer 09-05-2021 | 9:53 AM

COLOMBO (News 1st) –  පාලනයෙන් තොර චීනයේ Long March 5B රොකට්ටුවේ සුන්බුන් අද(09) පෙරවරුවේ ඉන්දියන් සාගරයට කඩා වැටුණි.

ඒ, ඉන්දියාව හා ශ්‍රී ලංකාවට නිරිත දිගින් වූ මාලදිවයින ආසන්න බටහිර මුහුදු ප්‍රදේශයටයි. චීනය ඉතිහාසයේ අභ්‍යවකාශගත කළ විශාලතම රොකට් යානය මෙයයි. එරට වේලාවෙන් පෙරවරු 10.24 ට පමණ සුන්බුන් කඩා වැටී තිබුණි. සුන්බුන්වලින් වැඩි ප්‍රමාණයක් වායුගෝලයේදී දැවී ගොස් ඇති බව චීන බලධාරීන් සඳහන් කළේ ය. මීට පෙරත් 5B වර්ගයේ රොකට්ටුවක සුන්බුන් පසුගිය වර්ශයේදී අයිවරි කෝස්ට් රාජ්‍යයට කඩා වැටුණි එහිදී ගොඩනැගිලි රැසකට හානි වූ අතර කිසිදු පුද්ගලයෙකුට බලපෑමක් වූයේ නැහැ. මේ අතර නාසා ආයතනය මෙම සිද්ධිය පිළිබඳ ප්‍රතිචාර දක්වා තිබේ. නාසා ආයතනයේ පරිපාලක බිල් නෙල්සන් ප්‍රකාශ කරන්නේ අභ්‍යවකාශ ක්‍රියාකරකම් සිදු කරන රටවල් මෙවැනි සිද්ධිවලදී පෘථිවියේ ජීවීන්ගේ හා දේපොළවල ආරක්ෂාව තහවුරු කළ යුතු බවයි. එසේම මෙවැනි අනතුරුදායක තත්ත්වයන් පිළිබඳ මීට වඩා විනිවිදභාවයකින් කටයුතු කළ යුතු බව ඔහු පෙන්වා දෙයි. නාසා ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, චීනය සිය අභ්‍යවකාශ වස්තූන් සම්බන්ධයෙන් වගකීම්සහගතභාවය ආරක්ෂා කිරීමට අපොහොසත් වී ඇති බවය. රොකට්ටුවේ ඉහළ කොටස අක්‍රීය හමුවේ එහි අනෙකුත් කොටස් පෘථිවි වායුගෝලයට ඇතුළුවීමට පෙර දැවී අවසන් වීම හේතුවෙන් එහි සුන්බුන්වලින් පෘථිවියට සිදුවීමට තිබූ හානිකර තත්ත්වය ඉතා අඩු මට්ටමක පැවති බව නාසා ආයතනයට ප්‍රතිචාර වශයෙන් චීනය කියා සිටියේ ය.