ගෙවුණු දිනයේ කොරෝනා මරණ 22 ක්..

දිනක් තුළ මෙරට වැඩිම කොරෝනා මරණ ගණන වාර්තා වෙයි: මරණ 22ක්..

by Staff writer 09-05-2021 | 7:56 AM

COLOMBO (News 1st) – තවත් කොරෝනා මරණ 22 ක් ඊයේ (08) වාර්තා විය.

එය දිනක් තුළ මෙරට වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ ගණන වේ. මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයින් 16 දෙනෙකු හා කාන්තාවන් 06 දෙනෙකි . මියගිය පිරිස අවුරුදු 57 ත් 84 ත් අතර වයස්වල පසූවුවන් ය. රාගම, කඩවත, මුල්ලේරියාව, තලවතුගොඩ, මොරටුව, ලුණුකැටියමඩිත්ත, පදියපැලැල්ල, කොළඹ 08, බුලත්කොහුපිටිය, හුන්නස්ගිරිය, කටුගස්තොට, හල්ග්‍රන්ඔය, හොරම්පැල්ල, ගනේමුල්ල, ගුරුදෙණිය, කඩවත, බිබිල , අගලවත්ත , වලහන්දූව, පෝද්දල, ගලගෙදර සහ ගන්නෝරුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් 22 දෙනෙකු එලෙස මියගොස් තිබේ. ඒ සමග මෙරට කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇති සමස්ත මරණ සංඛ්‍යාව 786 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ය. මේ අතර කොරෝනා ආසාදිතයින් 1890 ක් ඊයේ (08) හඳුනා ගැනුණි. ඒ සමග මෙරට කොරෝනා ආසාදනය වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 123,234 ක් දක්වා ඉහළ ගියේ ය. වෛසරය ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 19,372 ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ය. ඊයේ (08) දිනයේ ආසාදිතයින් 1335 ක් සුවය ලැබුවේ ය. ඒ සමග මෙරට කොරෝනා ආසාදනයෙන් සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 103,098 ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ය.