Sinopharm එන්නත ලබාදීම අද පානදුරෙන් ඇරඹේ

චීන කොරෝනා මර්දන එන්නත ලබා දීම අද පානදුරෙන් ඇරඹේ..

by Staff writer 08-05-2021 | 12:25 PM

COLOMBO (News 1st) - චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු සයිනෝෆාම් (Sinopharm) එන්නත මෙරට ජනතාවට ලබා දීම අද පස්වරුවේ ආරම්භ කෙරේ.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ, පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී (MOH) එන්නත්කරණය සිදු කෙරෙන බවයි. කොරෝනා ව්‍යාප්තිය මැඩලීම සඳහා මෙරට ජනතාවට ලබාදෙන තුන්වන එන්නත සයිනෝෆාම් (Sinopharm) එන්නතයි. මේ අතර ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා හෙවත් කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව මෙරට පුද්ගලයින් 187,775 දෙනෙකු මේ වනවිට ලබාදී තිබේ. දෙවැනි මාත්‍රාව ලබා දීම ආරම්භ කෙරුණේ, පසුගිය අප්‍රේල් මස 27 වැනි දායි. කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දීම පසුගිය ජනවාරී මස 29 වැනි දා ආරම්භ කෙරුණු අතර මෙරට පුද්ගලයින් නව ලක්ෂ විසි අටදහස් එකසිය හත්දෙනෙකුට එය ලබාදී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය. මේ අතර රුසියානු ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ද මේ වනවිට මෙරට පුද්ගලයින් 1669 දෙනෙකුට ලබා දී ඇති බව අමාත්‍යාංශය පැවසුවේ ය.