රුවන්පුර අධිවේගය:01 අදියරේ ඉදිකිරීම් අද ඇරඹේ

රුවන්පුර අධිවේගි මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් අගමැති ප්‍රධානත්වයෙන් අද ඇරඹේ

by Staff writer 07-05-2021 | 9:44 AM

COLOMBO (News 1st) - රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කහතුඩුවේ සිට ඉංගිරිය දක්වා කොටසේ වැඩකටයුතු අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව, සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් එම උත්සවය නව තාක්ෂණය ඔස්සේ අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙනු ඇති. මෙය මෙරට ඉදිකෙරෙන 7 වැනි අධිවේගී මාර්ගයයි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගය, කහතුඩුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අසළින් ආරම්භ වී ඉංගිරිය, රත්නපුර, හරහා පැල්මඩුල්ල දක්වා ඉදි කෙරේ. අදියර 03 ක් යටතේ ඉදිකිරීමට නියමිත රුවන්පුර අධිවේගී මාර්ගයේ සම්පූර්ණ දුර කිලෝමීටර් 73.9 කි. පළමු අදියර ලෙස කහතුඩුව සිට ඉංගිරිය දක්වා කිලෝමීටර් 24.3 ක කොටස ඉදිකෙරෙන්නේ, රුපියල් බිලියන 54.70 ක වියදමිනි. එහි ඉදිකිරීම් කටයුතු මාස 30 ක් තුළ අවසන් කිරීමට නියමිතය. රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකිරීමෙන් පසු පානදුර - රත්නපුර හා කොළඹ - වැල්ලවාය - මඩකලපුව මාර්ගවල පවතින වාහන තදබදය බොහෝ සෙයින් අඩු වනු ඇතැයි මහාමාර්ග අමාත්‍යාංශය පෙන්වා දෙයි.