පදික වෙළෙන්දාට බලය පෙන්වූ පොලිස් නිලධාරියාට වුණදේ

පදික වෙළෙන්දාට බලය පෙන්වූ ඉන්දීය පොලිස් නිලධාරියා ගෙදර යවයි

by Sagarika Chathumali 07-05-2021 | 4:06 PM

COLOMBO (News 1st) : පදික වෙළඳාමේ නිරත වෙළෙන්ඳෙකුගේ එළවළු කූඩයකට පා පහරක් එල්ල කළ පොලිස් නිලධාරියකුගේ වැඩ තහනම් කළ පුවතක් ඉන්දියාවේ පන්ජාබ්හි ෆග්වාරා නගරයෙන් වාර්තා වේ.

අදාළ පොලිස් නිලධාරීයා රථයෙන් බැසවිත් කිසිදු විමසීමකින් තොරව එළවළු කූඩයකට පා පහර එල්ල කරන අයුරු දැක්වෙන දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ ප්‍රාන්ත පොලිස් බලධාරීන් අදාළ නිලධාරීයාගේ වැඩ තහනම් කරමින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය ඉහළ පොලිස් නිලධාරීයෙකු පවසන්නේ, මොහුගේ පහත් හැසිරීම සම්බන්ධයෙන් ලැජ්ජාසහගත බවත් පොලිස් නිලධාරියෙකුගෙන් මෙවන් හැසිරීමක් කිසිසේත් බලාපොරොත්තු නොවන බවත් ය. මේ අතර ඉන්දියාව තුළ මේ වනවිට පැතිර යන කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මැයි 15 තෙක් පන්ජාබ් ප්‍රාන්තයේ ද අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ අලෙවිසල් සියල්ලම වසා දමන ලෙස නියෝග කර තිබේ. ඒ අනුව ඖෂධ, කිරි, පාන්, එළවළු, පළතුරු, කිරි, කුකුළු නිෂ්පාදන, මස් සහ ජංගම අලුත්වැඩියා වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන ස්ථාන විවෘත කර තැබීමට අවසර හිමි ය. මෙවන් වටපිටාවක් තුළ පොලිස් නිලධාරියාගේ මෙම හැසිරීම ප්‍රශ්න සහගත ය. ලොව ඕනෑම රටක් මේ මොහොතේ කොරෝනා ව්‍යාප්තිය පාලනයට නිසි පියවර ගත යුතු ය යන්න පිළිබඳ කිසිදු විවාදයක් නැත. එහෙත් ඒ නිසි පියවර මොනවා ද යන්න සහ එය කළ යුතු ආකාරය පිළිබඳව නිසි දැක්මක් සහ වැඩපිළිවෙළක් තිබීම අනිවාර්ය වේ. රට වැසියා කුසගින්නේ තබා කොරෝනා මර්දනය කර ඵලක් නැතිවා සේම රටේ පැවත්ම ගැන පමණක් සිතා රටවැසියන් කොරෝනා මාරයාට බිලි වන්නට ඉඩ දී ඇස් කන් වසා සිටීම ද තරම් නොවේ.   https://www.youtube.com/watch?v=YFHz9JtHIMg