දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය මාතලේ ගොවීන්ට පමණයි

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තවදුරටත් මාතලේ ගොවීන්ට පමණක් සීමා කෙරේ..

by Staff writer 07-05-2021 | 7:23 AM

COLOMBO (News 1st) - දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය තවදුරටත් මාතලේ දිස්ත්‍රික්කයේ ගොවීන්ට පමණක් සීමා කිරීමට ඊයේ(06) රැස් වූ දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුවේදී තීරණය කර තිබේ.

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් සහ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරණ භාර ලේකම් පියල් ජයසූරිය මහතා ප්‍රකාශ කළේ, ඒ අනුව අද සිට තවත් දින 3 ක් මාතලේ දිස්ත්‍රික්කයේ ගොවීන්ට පමණක් ආර්ථික මධ්‍යස්ථානය විවෘත වන බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ගොවි ජනතාවට සිය අස්වැන්න රැගෙන දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට නොපැමිණෙන ලෙස ඔහු දැනුම් දෙයි. පසුගිය 05 වැනි දා වෙළෙඳ කටයුතු සඳහා විවෘත කෙරුණු දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ තදබදය අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ. එම මධ්‍යස්ථානයට පැමිණෙන වෙළෙඳ සහ පාරිභෝගික ප්‍රජාව ද සීමා කිරීමට අද සිට කටයුතු කරන බව දඹුල්ල ප්‍රාදේශීය ලේකම් සහ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරණ භාර ලේකම් පියල් ජයසූරිය මහතා ප්‍රකාශ කළේ ය.