කැනඩාවේ අවුරුදු 12 - 15 ළමුන්ට ෆයිසර් එන්නත

අවුරුදු 12 - 15 අතර ළමුන්ට ෆයිසර් එන්නත භාවිත කිරීමට කැනඩාව අවසර දෙයි

by Staff writer 06-05-2021 | 8:28 AM

News 1st - වයස අවුරුදු 12ත් 15ත් අතර ළමුන් සඳහා අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් කොරෝනා එන්නත භාවිතා කිරීමට කැනඩාව අවසර දී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම වයස් කාණ්ඩය සඳහා ෆයිසර් කොරෝනා එන්නත භාවිත කිරීමට අවසර දුන් ලොව පළමු රට කැනඩාව බවයි. එරට සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත්තේ, එම වයස් කාණ්ඩයේ ළමුන් පිළිබඳ තුන්වන අදියරෙහි සායනික අත්හදා බැලීම්වල දත්ත පදනම් කරගෙනය. කැනඩාව දැනටමත් අවුරුදු 16 ට වැඩි පුද්ගලයින් සඳහා ෆයිසර් එන්නත භාවිත කිරීමට අවසර දී තිබේ. ඒ අනුව, අවුරුදු 12ත් 15ත් අතර ළමුන් සඳහා ලබන සඳුදා සිට එන්නත්කරණය ආරම්භ කරනු ඇති. කැනඩාවේ කොරෝනා ආසාදිත රෝගීන් මිලියන 1.2 කට වඩා වාර්තා වී ඇත.