''ස්පුට්නික් V මෙරට ප්‍රධාන එන්නත කරනවා ''

''ස්පුට්නික් V එන්නත් මාත්‍රා ලක්ෂ 130 ක් දෙන්න රුසියාව පොරොන්දු වුණා'' - රාජ්‍ය අමාත්‍ය ජයසුමන

by Sagarika Chathumali 06-05-2021 | 3:51 PM

COLOMBO (News1st) : රුසියානු ස්පුට්නික් V එන්නත මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහනේ ප්‍රධාන එන්නත ලෙස යොදා ගන්නා බව ඖෂධ නිෂ්පාදන හා සැපයුම් නියාමක රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ , කොලොන්නාව, ගොතටුව ප්‍රදේශයේදී ප්‍රථම වරට ස්පුට්නික් V එන්නත්කරණය ආරම්භ කළ අවස්ථාවට එක්වෙමින් ය. රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසුවේ, මේ වසර තුළ එන්නත් මාත්‍රා ලක්ෂ 130 ක් මෙරටට ලබා දෙන බවට රුසියානු රජය සහ එන්නත් නිෂ්පාදන ආයතනය පොරොන්දු වී ඇති බවයි. පළමු මාත්‍රාව ලබා දී සති 3කට පසු මෙහි දෙවන මාත්‍රාව ලබා දිය යුතු අතර ස්පුට්නික් එන්නතෙහි ම තවත් ආකාරයකට නිෂ්පාදනය කළ එන්නතක් එහි දෙවන මාත්‍රාව ලෙස ලබා දෙනු ඇති. ඒ අනුව ලක්ෂ 135ක් වන එන්නත්කරණයට ලක්විය යුතු මෙරට සමස්ත ජනගහනයෙන් අඩකට ආසන්න පිරිසකට ස්පුට්නික් V එනන්ත ලබා දිය අවකාශ හිමිවේ. මේ වනවිට මෙරටට ලැබී ඇති ස්පුට්නික් V කොරෝනා මර්දන එන්න‍ත් ප්‍රමාණය මාත්‍රා 15,000කි. මෙහිදී ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි දෙවන මාත්‍රාව සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ. ඊට පිළිතුරු ලෙස රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ඉන්දියාවේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ සීරම් ආයතනයට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ඉන්දියවෙන් පිටට ලබා දීමේ ගැටලුවක් පැනනැගී ඇති බවත් ඒ අනුව මෙරට ජනතාවට දෙවන එන්නත් මාත්‍රාව ලබා දීම සඳහා වන ලක්ෂ 6ක එන්නත් තොගය සපයා ගැනීමට මේ වනවිට වෙනත් ස්ථාන කිහිපයක් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවයි. කෙසේ වෙතත් ඉතිරි එන්නත් මාත්‍රා තොගය මෙරටට ලබා නොදෙන බවට ඉන්දියාව හෝ සිරම් ආයතනය නිල වශයෙන් දැනුම් දී නොමැති බව ද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ය. රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් අයට දෙවන මාත්‍රාව ලෙස ස්පුට්නික් V එන්නත ලබාදීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවයි. https://www.youtube.com/watch?v=EQHrg7TOAlg