එ.ජා.නේවාසික නියෝජිතවරිය සජිත් හමුවෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය ඇතුළු පිරිසක් විපක්ෂ නායකවරයා හමුවෙයි

by Staff writer 05-05-2021 | 9:26 PM

COLOMBO (News 1st) - එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය වන හනා සිංගර් මහත්මිය ඇතුළු විශේෂ පිරිසක් අද(05) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවිය.

ඒ, විපක්ෂ නායක කාර්යාලයේදීය. ද්වීපාර්ශවීය කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් කර තිබේ. එහි වැඩි අවධානයක් යොමු කර ඇත්තේ, කොරෝනා ව්‍යසනය සහ ඒ හරහා මතුව ඇති අභියෝග පිළිබඳවය. විශේෂයෙන්ම දැඩි පීඩාවකට පත්ව සිටින ශ්‍රී ලංකාව නැවත ගොඩ නැගීම උදෙසා අවශ්‍ය සහය, විපක්ෂ නායකතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරියගෙන් ඉල්ලා තිබේ. ඒ පිළිබඳව සිය විශේෂ අවධානය යොමු කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය මේ සම්බන්ධයෙන් උපරිම මැදිහත්වීම සිදු කරන බවට ද සහතික වූ බව විපක්ෂ නායක කාර්යාලය සඳහන් කළේ ය. විවිධාකාර දේශපාලන මතිමතාන්තර සහ පරස්පරතා පැවතිය ද කොරෝනා ව්‍යසනය මැඩලීමට රජයට සහය ලබාදෙන බවත් කිසිවිටෙක සමගි ජන බලවේගය කොරෝනා ව්‍යසනය තුළින් දේශපාලනය නොකරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී අවධාරණය කර ඇති කරුණකි.