වසර 10කට පසු තමිල්නාඩුවේ බල පෙරළියක්..

වසර 10කට පසු තමිල්නාඩුවේ බල පෙරළියක්..

by Staff writer 03-05-2021 | 10:03 AM

COLOMBO (News 1st) – වසර 10 කට පසු තමිල්නාඩුවේ බල පෙරළියක් සිදුව ති‌බේ.

ඒ, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත්, භාරතීය ජනතා පක්ෂය සහය දැක්වූ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. (AIADMK) පක්ෂය පරදවමින් ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ සහය ලද ඩී.එම්.කේ. (DMK) පක්ෂය යළි බලයට පැමිණීමත් සමගයි. ඩී.එම්.කේ. පක්ෂය සහ හවුල්කාර පක්ෂ ලබා ගත් ආසන සංඛ්‍යාව 156 කි. පාලක AIADMK පක්ෂයට ලබා ගත හැකි වූයේ ආසන 80 කට ආසන්න සංඛ්‍යාවක් පමණි. තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ බහුතර බලය ලබා ගැනීමට අවශ්‍ය වන ආසන සංඛ්‍යාව 118 කි. මෙවර තමිල්නාඩුවේ ප්‍රධාන පක්ෂ දෙකම මැතිවරණයට තරග කළේ, ඔවුන්ගේ දීර්ඝ කාලීන පක්ෂ නායකයින් වූ ජයලලිතා සහ කරුණානිධි නොමැතිවයි. ජේ. ජයලලිතා 2016 දී අභාවප්‍රාප්ත වූ අතර, කරුණානිධි 2018 වසරේදී අභාවප්‍රාප්ත විය. ඔවුන්ගේ අභාවයෙන් පසු ඇති වූ දේශපාලන රික්තකය පිරීවීම සඳහා දකුණු ඉන්දීය ප්‍රවීන නළු කමල් හසන් මැතිවරණයට තරග කළ ද, ඔවුන්ට ආසනයක් දිනා ගැනීමට නොහැකි විය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ , DMK පක්ෂ නායක එම්.කේ. ස්ටාලින් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යධූරයේ දිව්රුම් දීමට නියමිත බවය.