සෞඛ්‍ය උපදෙස් නොතැකූ 38 දෙනෙකු අත්අඩංගුවට..

උපදෙස් නොතකා වෙරළ උද්‍යාන ඇතුළු පොදු ස්ථානවල ගැවසුණු 38 දෙනෙකු අත්අඩංගුවට..

by Staff writer 03-05-2021 | 10:14 AM

COLOMBO (News 1st) – වෙරළ උද්‍යාන, දිය ඇලි ඇතුළු ස්නානය කරන ස්ථාන සහ ආහාර අලෙවි කරන ස්ථාන ආශ්‍රිතව කළ සෝදිසි මෙහෙයුමකදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළ පුද්ගලයින් 38 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත තුළ ඊයේ (02) පස්වරු 3.00 සිට 6.00 දක්වා කාලයේ එම මෙහෙයුමේදී පරීක්ෂා කර ඇති ස්ථාන සංඛ්‍යාව 1,093 කි. එහිදි අනාරක්ෂිත ලෙස ආහාර අලෙවි කළ සහ සකස් කළ පුද්ගලයින් 06 දෙනෙකු මෙන්ම රාත්‍රී කාලයේදී නීති විරෝධී ලෙස මත්පැන් සාද පැවැත්වූ 12 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමන නොකළ පුද්ගලයින් 4,306 දෙනෙකුට අවවාද කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය. මේ අතර ගතවූ පැය 24 තුළ මුව ආවරණ නොපැළදීම ඇතුළු නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 215 දෙනෙකු , අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි. පසුගිය ඔක්තොම්බර් 30 සිට මේ දක්වා ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 4,857කි. මේ අතර මත්පැන් සාද වැටලීම සඳහා අද සිට විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ජනතාව ඒකරාශී කර ගනිමින් මත්පැන් සාද පවත්වන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවය.