කොවිශීල්ඩ් එන්නත නිපදවන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාට ඉන්දීය බලවතුන්ගෙන් තර්ජන..

by Staff writer 02-05-2021 | 9:47 PM

COLOMBO (News 1st) - ලොව විශාලතම එන්නත් නිපදවීමේ ආයතනය වන ඉන්දියාවේ සීරම් ඉන්ස්ටිටියුට්හි ප්‍රධාන විධායක නිලධාරී අදර් පූනවල්ලා ඉන්දියාවෙන් එංගලන්තය බලා පිටත්ව ගොස් තිබේ.

බ්‍රිතාන්‍යයේ සිට මාධ්‍ය සමග සාකච්ජාවකට එක් වෙමින් ඔහු පවසා ඇත්තේ කොවිඩ් මර්දනය සඳහා යොදා ගනු ලබන කොවිශිල්ඩ් එන්නත ලබා දෙන ලෙස ඉල්ලමින් තමන්ට ඉන්දියාවේ දේශපාලනඥයින් සහ බලවත් පුද්ගලයින්ගෙන් තර්ජනාත්මක දුරකතන ඇමතුම් ලැබෙන බවයි. ඒ අනුව වගකීම් සියල්ලම තම උරහිස් මත වැටී ඇතැයිද සීරම් ඉන්ස්ටිටියුට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා සඳහන් කර තිබේ. වත්මන් තත්ත්වය සලකා බලා කොවිෂිල්ඩ් එන්නත ඉන්දියාවෙන් පිටත වෙනත් ස්ථානයක නිපදවීමට තමන් පියවර ගන්නා බවද ඔහු "ටයිම්ස් ඔෆ් ලන්ඩන්" පුවත්පත සමග පැවැති එම සම්මුඛ සාකච්ජාවේදී ප්‍රකාශ කර තිබේ. මේ අතර දිනකට වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 4 සීමාව ඉක්මවූ ලෝකයේ පළමු රට බවට ඉන්දියාව පත්ව තිබේ. ගත වූ පැය 24ක කාලය තුළ ඉන්දියාව නිල වශයෙන් කොවිඩ් මරණ 3,523ක් වාර්තා විය.