"වැඩකරන ජනයාගේ ජීවිත අඩාලවන සීමා දාන්නේ නැහැ"

වැඩ කරන ජනතාවගේ ජීවිත අඩාල වන සීමා පනවන්නේ නැහැ.. - ජනපති මැයි දින පණිවුඩයෙන් කියයි

by Staff writer 01-05-2021 | 7:22 AM

COLOMBO (News 1st) - කොරෝනා වසංගතය හේතුවෙන් ලොව වඩාත් අභියෝගයට ලක්වන ජනතාව කම්කරු ප්‍රජාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

කම්කරු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා කියා සිටියේ, එබැවින් වැඩ කරන ජනතාවගේ ජන ජීවිත අඩාල වන සීමා පැනවීම් නොකර ඔවුන්ගේ ජීවිත යථාවත්ව ගෙනයාමට රජය නිරන්තරයෙන් කටයුතු කරන බවය. කොරෝනා වසංගතය හේතුවෙන් මැයි දින සැමරුම් හා පෙළපාලි කම්කරු ජනතාවට අහිමි වුවද අධිෂ්ඨානය, කැපවීම හා අරගලය ශක්තිමත් බව තමන් අවබෝධ කරගෙන ඇති බව ද ජනාධිපතිතුමාගේ මැයි දින පණිඩුවයේ සඳහන් ය. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කම්කරු දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවඩුයක් නිකුත් කරමින් පවසන්නේ, කෙතරම් දුෂ්කර තත්ත්වයන් හමුවේ වුවත් අපගේ රජයන් කම්කරු ජනතාව වෙනුවෙන් දියයුතු නිසි ගෞරවය දුන් බව සිහිපත් කරන බවයි. කම්කරු අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් සැමදා කැප වූ බව සිහිපත් කරන අග්‍රාමාත්‍යවරයා වැඩබිම්වල දහඩිය වගුරවමින් සැමගේ සුබසෙත පිණිස කම්කරුවන් කරන මෙහෙය ඇගයීමකට ද ලක් කෙරේ. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මැයි දිනය වෙනුවෙන් සුබ පැතුම් එක් කරමින් පවසන්නේ, අදුරදර්ශී ආර්ථික කළමනාකරණය හේතුවෙන් දේශීය සම්පත් විකුණා දමන තත්ත්වයකට රට පත්ව ඇති බවයි. විරුද්ධවාදීන්ට එරෙහිව රාජ්‍ය මර්දනය එල්ල වී ඇති බව පවසන විපක්ෂ නායකවරයා රට ගොඩ නගන න්‍යායපත්‍රය පසෙලකා බලලෝභී න්‍යායපත්‍රය පෙරට ගෙන රටත්, ජනතාවත් අන්ධකාරය වෙත ගෙනයාමේ මෙහෙයුමක් රජය ආරම්භ කර ඇති බව ද පෙන්වා දෙයි.