ICU ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ උපදෙසක්

සාමාන්‍ය රෝගීන්ගේ ICU කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා ලබා ගැනීමට පියවර - සෞඛ්‍ය අමාත්‍යාංශය

by Staff writer 30-04-2021 | 9:39 AM

COLOMBO (News 1st) - වැඩිවන කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සාමාන්‍ය රෝගීන් සඳහා වෙන්කර ඇති දැඩි සත්කාර ඒකක(ICU) සහ වාට්ටු ලබා ගන්නා ලෙස සියලු රෝහල් අධ්‍යක්ෂවරුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සඳහන් කළේ, කොරෝනා රෝගීන් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම වාර්තා වීම සැලකිල්ලට ගනිමින් එම උපදෙස් ලබා දුන් බවය. මේ අතර ඉහළ යන කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දැනට නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පරිශ්‍ර අතරමැදි රෝහල් බවට පත් කිරීමේ වැඩපිළිවෙළ මේ වනවිට ආරම්භ කර ඇත. මේ යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ වසා දමා ඇති කම්හලක ඇඳන් 2000 කින් යුත් රෝහලක් ඉදි කිරීම මේ වනවිට සිදු කෙරේ. ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසුවේ, අතිරේක ඇඳන් නිෂ්පාදනය මේ වනවිට ත්‍රිවිධ හමුදාව විසින් ආරම්භ කර ඇති බවයි. තව ද රිජ්වේ ආර්යා ළමා රෝහලට පැමිණීමට කිසිදු ආකාරයකින් බියක් ඇති නොකර ගන්නා ලෙසට එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ජනතාවට දැනුම් දෙයි. ඔහු සඳහන් කළේ, ඕනෑම වේලාවක දරුවන්ට ප්‍රතිකාර ලබාදීමට රෝහලේ කාර්ය මණ්ඩලය සූදානමින් සිටින බවය.