වැල්ලවායේ ව්‍යාපාරිකයා ඝාතනය ගැන හෙළිදරව්වක්

වැල්ලවායේ ව්‍යාපාරිකයා තලංගමදී ගෙල කපා ඝාතනය කර ඇති බවට තොරතුරු හෙළි වෙයි - පොලීසිය

by Staff writer 30-04-2021 | 5:57 PM

COLOMBO (News 1st) –  වැල්ලවාය, ඇතිලිවැව ප්‍රදේශයේ ව්‍යාපාරිකයා ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අදාළ ව්‍යාපාරිකයාගේ තලංගම, තලාහේන ප්‍රදේශයේ පිහිටි කාර්යාලය තුළදී ගෙල කපා ඔහු ඝාතනය කර ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇති බවයි. සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමේදී මෙම සැකකරුවන් පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබේ. සැකකරුවන් විසින් ඝාතනය කළ ව්‍යාපාරිකයාගේ සිරුර රත්තොට ප්‍රදේශයට ගෙන ගොස් පුළුස්සා ඇති බව පරීක්ෂණවලදී හෙළිව ඇතැයි පොලීසිය සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කෙරුණේ රත්තොට ප්‍රදේශයෙන් පිලිස්සී ගිය නාඳුනන මළ සිරුරක් පසුගිය දා හමුවීමත් සමගයි. එහිදී හමු වූ තොරතුරු අනුව කළ පරීක්ෂාවකදී තලංගම, තලාහේනේ පිහිටි ව්‍යාපාරිකයාට අයත් කාර්යාලය පරීක්ෂා කිරීමේදී ලේ පැල්ලම් හමුවීමත් සමග සැකකරුවන් පිළිබඳව තොරතුරු සොයා ගැනීමට හමුවිය. ව්‍යාපාරිකයාගේ මෝටර් රථය පසුගිය දා හමුවුයේ අනුරාධපුර ප්‍රදේශයේදීය. සැකකරුවන් මීට පෙර හමුදාවේ සේවය කර ඇති අතර ව්‍යාපාරිකයා සහ ඔවුන් අතර පැවති මුදල් ආරවුලක් ඝාතනයට හේතුවන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි. කෙසේ වෙතත් රත්තොට ප්‍රදේශයෙන් හමු වූ සිරුර අදාළ ව්‍යාපාරිකයාගේ දැයි නිශ්චිතව හඳුනා ගැනීම සඳහා ඔහුගේ මව්පියන්ගේ ඩී. එන්.ඒ. පරීක්ෂාවක් සිදු කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. එහි ප්‍රතිඵල මෙතෙක් ලැබී නොමැත.